මුදල් ඇමති බැසිල් රාජපක්ෂ විසින් යෝජනා කර තිබෙන ආකාරයට අධිභාර බද්ද මගින් EPF, ETF අරමුදල්වලට අත පෙවීමට ඉඩ නොතබන්නට ජාතික ජන බලවේගය විසින් සෑම උත්සාහයක්ම ගන්නා බව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. අද (14) දින එම නිවේදනයෙන් ඔවුන් පවසන්නේ මෙම මුදල් අධිභාර බද්දෙන් නිදහස් කිරීමට වහා පියවර ගන්නා ලෙස තමන් ආණ්ඩුවට බල කර සිටින බවයි. ආණ්ඩුව මේ විනාශකාරී ප්‍රතිපත්තියේ දිගටම සිටින්නේ නම් ජනතාව දුක් මහන්සි වී උපයන ඉතුරුම් එළිපිට කොල්ලකෑමට එරෙහිව, සියලුම වැඩ කරන ජනතාව පෙළගස්වන්නට සූදානම් බවද ජාතික ජන බලවේගය දැඩිව ප්‍රකාශ කර සිටින බවයි ඔවුන් පවසන්නේ.
“2021 අයවැයෙන් 2020/2021 මූල්‍ය වර්ෂය තුළ රුපියල් බිලියන 2 ඉක්මවන ඕනෑම පුද්ගලයෙකු, හවුල් ව්‍යාපාරයක් හෝ සමාගමක් සඳහා 25% අධිභාර බද්දක් ආණ්ඩුවෙන් යෝජනා කර තිබේ. මෙම බද්දෙන් රුපියල් බිලියන 100ක් ඉපයීමට ආණ්ඩුව සැලසුම් කර ඇති අතර අයවැය විවාදයේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළේ සමාගම් 65ක් පමණ මෙම බද්දට යටත් වන බවය. මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් රජය විසින් 2022 පෙබරවාරි මස 03 වන දින ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලදී. 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතට අනුකූලව ‘සමාගම’ යන්න මෙම පනත් කෙටුම්පතෙහි අර්ථකථනය වේ. මෙයට අනුව අර්ථසාධක අරමුදල, විශ්‍රාම වැටුප් අරමුදල, විශ්‍රාම වැටුප් පාරිතෝෂික අරමුදල හෝ ඒ හා සමාන අරමුදලක් සමාගමක් ලෙස හැඳින්විය හැකි බැවින් යෝජිත අධිභාර බද්දට යටත් වේ.
2019 වසරේ අර්ථසාධක අරමුදලේ බදු අය කළ හැකි ආදායම රුපියල් බිලියන 250කි. 2020 දී එම මුදල සැලකිය යුතු ලෙස වැඩි වනු ඇතැයි අපට උපකල්පනය කළ හැකිය. රුපියල් බිලියන 250ක් මත 25%ක අධිභාර බද්ද රුපියල් බිලියන 62.5ක් වේ. එනම්, 2019 ආදායම මත පදනම්ව ගණනය කළද අපේක්ෂිත ආදායමෙන් 60%කට වඩා ලැබෙන්නේ සේවක අර්ථසාධක අරමුදලෙනි. ETF අරමුදලද මෙම යෝජිත බද්දට යටත් වූ විට, අධිභාර බද්දෙන් රජය රැස් කිරීමට සැලසුම් කර ඇති රුපියල් බිලියන 100 ප්‍රධාන වශයෙන් මේ රටේ වැඩ කරන ජනතාවට අයත් අරමුදල්වලින් ලබා ගනු ඇත. EPF අරමුදල දැනටමත් 14% බද්දකට යටත් කර ඇති බව ද මෙහිදී මතක් කළ යුතුය. ඒ අනුව, 2020/2021 මූල්‍ය වර්ෂයේදී රජය විසින් EPF සඳහා පමණක් 39% ක දැවැන්ත බද්දක් අය කරනු ලබයි.
EPF, ETF, විශ්‍රාම වැටුප් සහ පාරිතෝෂිත අරමුදල් සෑදී ඇත්තේ සේවකයින්ගේ සහ සේවායෝජකයන්ගේ දායකත්වයෙනි. විශ්‍රාම ගැනීමෙන් පසු ඔවුන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කරන්නේ මේවායි. විශ්‍රාමික දිවියේ සුරක්ෂිතභාවය සහතික කරන මෙම අරමුදල් වැඩකරන ජනතාවට තීරණාත්මක ලෙස වැදගත් වෙයි. මෙම මුදල් උපයන්නේ වෙහෙස මහන්සි වී වැඩ කරන ජනතාවක් වන අතර ඔවුන් කිසිවෙකු තනි තනිව රුපියල් බිලියන 2කට ආසන්නයෙන්වත් උපයන්නේ නැත! ආණ්ඩුව විසින් මේ ඉලක්ක කරන්නේ ඔවුන්ගේ සාමුහික අරමුදලයි. එහෙත් ආණ්ඩුව අධිභාර බද්ද හඳුන්වා දුන් විට ඔවුන් කියා සිටියේ එය අදාළ වන්නේ මේ රටේ ධනවත්ම සමාගම්වලට සහ පුද්ගලයන්ට පමණක් බවයි.
EPF සහ ETF මත බදු අය කිරීමට ඔවුන් අදහස් නොකළ බවත්, මෙම තත්වයට හේතු වී ඇත්තේ දේශීය ආදායම් පනතේ ‘සමාගම’ යන යෙදුමෙහි අර්ථකථනය බවත් ආණ්ඩුව කියා සිටී. පරස්පර විරෝධී ස්ථාවරයන් පවත්වාගෙන යාමේ ආණ්ඩුවේ සම්ප්රදාය අනුව යමින් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේ EPF සහ ETF සඳහා මෙම බද්ද පැනවීමට තමන් විරුද්ධ බවයි.
මෙය හුදෙක් ‘අර්ථකථනය’ පිළිබඳ ගැටලුවක් යැයි අපි නොසිතමු. එවැනි ගැටලුවක් නම්, පනත් කෙටුම්පත සකස් කළ අය විසින් EPF සහ ETF අධිභාර බද්දෙන් නිදහස් කිරීමට නිශ්චිත වගන්තියක් ඇතුළත් කර තිබිය යුතුය. ඔවුන් එසේ නොකිරීමෙන් පෙන්නුම් කරන්නේ සේවක අර්ථසාධක හා විශ්‍රාම වැටුප් අරමුදල් මත මෙම බද්ද පැනවීමට ආණ්ඩුව මුල සිටම සැලසුම් කළ බවය. මෙය ආදායම් උත්පාදනය සඳහා පහසු ඉලක්කයක් ලෙස ඔවුන් දුටු බව පැහැදිලිය.
ඔවුන්ගේම ක්‍රියාවන් විසින් නිර්මාණය කරන ලද පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයක් පවතින මේ මොහොතේ මේ ආණ්ඩුවේ එකම උපායමාර්ගය වන්නේ රටේ ජනතාව මත බර පටවා, අපගේ ප්‍රධාන ආර්ථික සම්පත් විකුණා අනාගත පරපුරටද බර පැටවීමයි. මේ රටේ වැඩ කරන ජනතාවට බදු පැනවීමේ යෝජනාව ඔවුන්ගේ එම උපායමාර්ගයේ තවත් එක් නිර්ලජ්ජිත ක්‍රියාවකි. EPF සහ ETF අයිති මේ රටේ වැඩ කරන ජනතාවටය. පුද්ගලික සහ අර්ධ රාජ්‍ය අංශ දෙකෙහි පහළම සේවකයාගේ සිට ඉහළම සේවකයා දක්වා ජනතාවටය. ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය වැනි ආණ්ඩුවේ පෙර ක්‍රියාමාර්ග හේතුවෙන් මෙම අරමුදල්වලට දැවැන්ත පාඩු සිදු වූ බව අපි දනිමු. අධිභාර බද්ද මෙරට ධනවත්ම පුද්ගලයන්ට සහ සමාගම්වලට පනවන්නක් ලෙස රජය හඳුන්වා දුන්නද සිදු වී ඇත්තේ එය මේ රටේ වැඩකරන ජනතාව වෙතට තල්ලු වීමය. එපමණක් නොව, මෙම බද්දෙන් උපයන ආදායම ජනතාවගේ සුබසිද්ධිය සඳහා යොදවන්නේ නැති බවත්, එය යොදවන්නේ ශීඝ්‍රයෙන් පිරිහෙමින් පවතින ආණ්ඩුවේ ජනප්‍රියත්වය ඉහළ නංවා ගැනීමට කරන මංමුලා වූ උත්සාහයන් මත බවත් අපට හොඳින්ම විශ්වාසය.
අධිභාර බද්ද මගින් මෙම අරමුදල්වලට අත පෙවීමට ඉඩ නොතබන්නට ජාතික ජන බලවේගය විසින් සෑම උත්සාහයක්ම ගන්නා බව අපි තරයේ ප්‍රකාශ කරමු. මෙම මුදල් අධිභාර බද්දෙන් නිදහස් කිරීමට වහා පියවර ගන්නා ලෙස අපි ආණ්ඩුවට බල කර සිටිමු. ආණ්ඩුව මේ විනාශකාරී ප්‍රතිපත්තියේ දිගටම සිටින්නේ නම් ජනතාව දුක් මහන්සි වී උපයන ඉතුරුම් එළිපිට කොල්ලකෑමට එරෙහිව, සියලුම වැඩ කරන ජනතාව පෙළගස්වන්නට සූදානම් බවද අපි දැඩිව ප්‍රකාශ කර සිටිමු” යි එම නිවේදනයේ සඳහන් වෙනවා.