ලෝක දූෂණ දර්ශකයේ තව තවත් පහළට බසින ශ්‍රී ලංකාව

2021 වසරේ දූෂණ සංජානන දර්ශකයේ ශ්‍රේණිගතකිරීම්වලට අනුව, ශ්‍රී ලංකාව ලොව රටවල් 180ක් අතරින් 102 වන ස්ථානය දක්වා පහත වැටී ඇත.

2020 වසරේ දී ලංකාව ශ්‍රේණිගතකිරීම්වලින් 94 වන ස්ථානයේ පසුවිය. මෙවර භූතානය, ඉන්දියාව, සහ මාලදිවයින් යන සාක් රටවල් ත්‍රිත්වයම ලංකාවට වඩා උසස් ස්ථානයන්හි පසුවෙයි.

දූෂණ සංජානන දර්ශකයට අනුව ලකුණු 100ක් ගන්නා රාජ්‍යය දූෂණයෙන් තොර රාජ්‍යය වන අතර, ලකුණු බිංදුව ලබාගන්නා රට අන්ත දූෂිත රාජ්‍යය යි. මෙයින් ශ්‍රී ලංකාව ලබා ඇති ලකුණු සංඛ්‍යාව 37කි.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් සම්පාදිත නවතම දූෂණ සංජානන දර්ශකය, රාජ්‍ය අංශයේ දූෂණ පිළිබඳ සංජානන මත පදනම්ව සැකසෙයි. ප්‍රවීණයන්ගේ අදහස් සහ ව්‍යාපාරිකයන්ගේ සමීක්ෂණ ඇසුරින් මෙම දර්ශකය සකස්කර ඇත.

CPI දර්ශකය ගණනය කරනු ලබන්නේ ලෝක බැංකුව ද, ලෝක ආර්ථික සංසදය ද, පුද්ගලික අවදානම් සහ උපදේශන සමාගම් හා උපදේශකයින් ද, වෙනත් පාර්ශවයන් ද ඇතුළු බාහිර මූලාශ්‍රයයන් 13කින් නිකුත් කෙරෙන දත්ත භාවිතා කරමිනි.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා (TISL) යනු, දූෂණය තුරන් කිරීමට සහ යහපාලනය ප්‍රවර්ධනය කිරීමට කැප වී සිටින, දූෂණයට එරෙහි ගෝලීය සිවිල් සමාජ සංවිධාන ජාලයක් වන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල්හි (TI) දේශීය ආයතනය යි.

වාර්ෂිකව දූෂණ සංජානන දර්ශකය සම්පාදනය කිරීමේ දී ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දත්ත ලබාගැනෙන්නේ TISL ආයතනයට පරිබාහිර මූලාශ්‍රයයන්වලිනි.

ශ්‍රී ලංකාව තවත් පහළට

2020 වසරේ දී ශ්‍රී ලංකාව ලබාතිබූ ලකුණු සංඛ්‍යාව 38ක් (මෙවසරේ දී 37කි) වූ අතර, ශ්‍රේණිගතකිරීම්වල 94 වන ස්ථානයේ පසුවිය. 2021 වන විට එය 102 දක්වා පහත වැටී ඇත.

පසුගිය වසර 10 සැසඳීමේ දී ශ්‍රී ලංකාව දූෂණ සංජානන දර්ශකයට අනුව ලබාගත් ලකුණු සංඛ්‍යාව ආසන්න වසයෙන් සමව පවතියි. මෙතෙක් වාර්තා වූ අඩුම ලකුණු අගය 2016 දී සටහන් වූ අතර, එය 36ක් විය. ශ්‍රී ලංකාව ලබාගත් ඉහළම ලකුණු ගණන වූ 40, 2012 දී වාර්තා විය.

ඩෙන්මාර්කය, පින්ලන්තය, සහ නවසීලන්තය ලකුණු 88ක් බැගින් ලබාගෙන දූෂණයෙන් තොර රාජ්‍යයන් අතර පෙරමුණේ පසුවේ. සෝමාලියාව, දකුණු සුඩානය, සහ සිරියාව ලකුණු 13ක් බැගින් ලබාගනිමින් දූෂිතම රාජ්‍යයන් අතරට එක්වී සිටියි.

TISL ආයතනයේ විධායක අධ්‍යක්ෂ නීතිඥ නදීෂානි පෙරේරා පවසා සිටියේ, වැදගත් වන්නේ දර්ශකය නොව ලබාගන්නා ලකුණු ප්‍රමාණය බව යි.

“මෙම දර්ශකයේ රටේ ස්ථානය නොවේ වැදගත් වෙන්නේ, ලබාගත් ලකුණු මට්ටමයි වැදගත්. දශකයක් තුළ සසඳා බලන්න රට කොතැන ද ඉන්නේ කියලා, ඒක යි වැදගත්. මුළු ලෝකයේම රාජ්‍ය අංශයේ දූෂණය පිටුදැකීම සම්බන්ධයෙන් ඉතා සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන නැහැ. එක කණගාටුදායක දෙයක්. රටවල් 86%ක් ප්‍රගතියක් අත්කරගෙන නැහැ,” ඇය පැවසිය.

ලකුණුදීම සහ ශ්‍රේණිගතකිරීම

රාජ්‍ය අංශයේ දූෂිත ක්‍රියාකාරකම් පදනම්කර ගනිමින් 2021 දූෂණ සංජානන දර්ශකයේ අගයන් ගණනය කෙරේ. ලෝක බැංකුව, ලෝක ආර්ථික සමුළුව, ආදී බාහිර මූලාශ්‍රයයන් 13කින් ලබාගත් දත්තවලට අමතරව විශේෂඥ අදහස් සහ ව්‍යාපාර ප්‍රජාවගෙන් ලබාගත් සමීක්ෂණ දත්ත ද මෙම ගණනයකිරීම්වලට යොදාගෙන ඇත.

අල්ලස, රාජ්‍ය මුදල් අවභාවිතාව, දූෂණ ක්‍රියාවලට එරෙහිව ඵලදායී ලෙස නඩු පැවරීම, ප්‍රමාණවත් නෛතික රාමු, තොරතුරුවලට ප්‍රවේශය, සහ දූෂණ වංචා හෙළිදරව් කරන්නන්, මාධ්‍යවේදීන් සහ විමර්ශකයන් සඳහා වන නෛතික ආරක්ෂාව යන පරාමිතීන් මත පදනම්ව දූෂණ සංජානන දර්ශකය සම්පාදනය වෙයි.

බොහෝ රටවල් ගෝලීය කෝවිඩ්-19 වසංගතය මූලික නිදහස සීමා කිරීමටත්, වැදගත් සංවරණ හා තුලන මඟහරවා ගැනීමටත් නිදහසට කාරණයක් ලෙස භාවිතා කරන බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය පවසයි.

නාමික සමාගම්වල (ෂෙල් සමාගම්) අනිසි භාවිතාව අවසන් කිරීමට ජාත්‍යන්තර වශයෙන් වැඩි ප්‍රවණතාවක් තිබිය දීත්, සාපේක්ෂ වශයෙන් “පිරිසිදු” රාජ්‍ය අංශයන් ඇති, දර්ශකයේ ඉහළ අගයයන් ලැබූ බොහෝ රටවල් අන්තර්ජාතික දූෂණය පවත්වාගෙන යෑමට අඛණ්ඩව කටයුතු කරන බවට ද මෙම ආයතනය කරුණු මතු කරයි.

“සිංගප්පුරුව වැනි රටවල් ඉතා ප්‍රසිද්ධයි මේ ෂෙල් කියන සමාගම් හදන්න, රහසිගත සමාගම් හදන්න, අපේ වගේ රටවල ඉන්න ඉතාමත්ම දූෂිත පුද්ගලයින් වෙනුවෙන්. එකෙන් පුළුවන් ඒගොල්ලන්ගේ මුදල් හංගන්න,” නීතිඥ පෙරේරා පැවසුවා ය.

ආධාර ලෙස ලැබෙන හැම රුපියලක්ම හා ඩොලරයක්ම ඉතා වැදගත් බව ද පෙන්වා දෙන TISL ආයතනයේ විධායක අධ්‍යක්ෂවරිය, වගකිවයුතු රජයකට එම මුදල්, ජනතාවගේ මුදල් ලෙස වගවීමෙන් යුතුව බෙදාහැරීම පිළිබඳ වගකීමක් ඇතැ යි පවසා සිටියා ය.

“විශාල ආධාර එන අවස්ථා තියෙනවා කියන්නේ එතන දූෂණයට ලොකු ඉඩක් තියෙනවා. ප්‍රයෝජනය ගන්න පුද්ගලයෝ බොහෝ ඉන්න පුළුවන්. ආධාර මඟින් මිනිස්සුන්ගේ ජීවිත රැකෙනවා ද, මිනිසුන්ගේ ජීවිත නැතිවෙනවා ද කියලා තීරණය වෙන්න පුළුවන්,” ඇය පැවසීය.

මුළු ලෝකයේම කොව්ඩ් වසංගතය පාලනය සඳහා රාජ්‍යයන් විවිධ සිවිල් අයිතිවාසිකම් අඩුකළ බව ද ඇය පවසා සිටියා ය. සිවිල් අංශයේ සේවා සඳහා හමුදාව යෙදවීම ඊට උදාහරණ ලෙස ඇය පෙන්වා දෙයි.

ඇය පවසා සිටින්නේ, සිවිල් වැසියන්, සිවිල් රාජ්‍ය නිලධාරීන් සමග කටයුතු කරනවාට වඩා හමුදාව, පොලීසිය වැනි ආරක්ෂක අංශ සමග කටයුතු කිරීමේ දී මහජනතාව බියක් දක්වන බව යි. හදිසි අවශ්‍යතාව අනුව එවැනි කටයුතු සඳහා හමුදා සහාය ලබාගැනීම සුදුසුවුවත්, එය දීර්ඝකාලීනව සුදුසු නොවන බව ඇගේ අදහස යි.

එවැනි ක්‍රියාමාර්ග තුළින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් හැකිලෙන බව ද ඇය පැවසුවා ය.

“ජනතාවට පාරට යන්න බැහැ, උද්ඝෝෂණ කරන්න බැහැ, ඒකටත් කොවිඩ් පාවිච්චි කරන්න පුළුවන්. මේ අවුරුද්දේ ලොව පුරාම රාජ්‍ය අංශයේ දූෂණය ඉහවහා ගිහිල්ලා තියෙන වෙලාව. ඒකට එකම පිළියම ප්‍රජාව බලගැන්විලා සමාජ විපර්යාසයක් ඇති කිරීම යි,” නීතිඥ පෙරේරා පවසා සිටියා ය.

දූෂණය අඩු කරපු රටවල් මොනවා ද?

දූෂණ සංජානන දර්ශකය හරහා ශ්‍රේණිගත කෙරුණු රටවලින් 86%ක් පමණ පසුගිය වසර 10ක කාලය තුළ දූෂණය පිටුදැකීමේ දී කිසිදු ප්‍රගතියක් ලබා නොමැත.

ශ්‍රී ලංකාව ද මෙම ගණයට අයත් වන බව නීතිඥ පෙරේරා පවසා සිටියි. ඇය පවසන්නේ, සමස්තයක් ලෙස ගත්කල ලොව පුරාම පාහේ දූෂණය පිටුදැකීම අතින් සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගෙන නොමැති බව යි.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ නිර්දේශයන්

දූෂණය, මානව හිමිකම් උල්ලංඝනයකිරීම්, සහ ප්‍රජාතන්ත්‍රවාදී පරිහානිය යන විෂම චක්‍රයට එරෙහිව සටන් කිරීම සඳහා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය නිර්දේශ කීපයක් ඉදිරිපත් කරයි:

  • බලය ඇති පුද්ගලයන්ගේ වගවීම තහවුරු කිරීමට අදාල අයිතීන් ආරක්ෂා කිරීම
  • බලය පිළිබඳ වන ආයතනික සංවරණ නැවත පිහිටුවීම සහ ශක්තිමත් කිරීම
  • අන්තර්ජාතික දූෂණ ක්‍රියා මැඬලීමට කටයුතු කිරීම
  • රාජ්‍ය වියදම් සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කිරීම

දූෂණය පිටුදැකීමට නම් දූෂිත ක්‍රියා සඳහා පවතින ඉඩකඩ ඇහිරිය යුතු බව ට්‍රාන්ස්ප්‍රේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ නීතිඥ නදීෂානි පෙරේරා පවසයි. ඇය තවදුරත් පවසා සිටියේ ඒ සඳහා රාජ්‍ය ආයතන රාමුව ශක්තිමක් කළ යුතු බවකි.

විශේෂයෙන්ම රාජ්‍ය සේවා කොමිෂන් සභාව ශක්තිමත් කළ යුතුබව පවසන ඇය, ඊට අමතරව ජාතික ප්‍රසම්පාදන කොමිසම, ජාතික විගණන කොමිසම වැනි ස්වාධීන ආයතන සක්‍රීයකර, ඒවා ශක්තිමත් කළයුතු බව ද අවධාරණය කරයි.

BBC සිංහල වෙබ් පිටුවෙන් උපුටා පළකරන ලදී

POPULAR

Recent articles