ඇදිරිනීතිය හා තොන්ඩමන්
ලෝකය පුරා පැතිර යන කොරෝනා වෛරසය ඍජුවම මිනිස් ජිවිත වෙත එල්ල වූ තර්ජනයක් බව ජගත් සෞඛ්‍ය සංවිධානය ලෝක ප්‍රජාව වෙත නිවේදනය කර දැන් බොහෝ කල්ය. ඒ වෙනුවෙන් තෝරාගත යුතු මිනිස් පැවතුම් හා ක්‍රියාකාරකම් ද ඒ අනුව නිර්දේශ කෙරුණි. පුද්ගල දුරස්ථභාවය පවත්වා ගනිමින් සමාජයක් ලෙස ජිවත් වීමේ අවශ්‍යතාවය හඳුනා ගැනුනේ මේ අනුවය. ලෝකයේ විවිධ රටවල් ඒ නිර්දේශයන් අනුගමනය කරන්නට ගන්නා විවිධ වූ උත්සාහයන් ද මාධ්‍ය විසින් දෛනිකව වාර්තා කෙරුණි. ශ්‍රී ලංකාවද විවධ තත්වයන් යටතේ කොරෝනා ආරක්ෂණ ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට කටයුතු කරන බව රජයේ නිවේදන හා ක්‍රියාකාරකම් මගින් තහවුරු කරමින් තිබුණි. තොන්ඩමන් මහතා මියයන්නේ මෙවන් පසුබිමකය. වතුකරයේ ජනතා නියෝජිතයෙක් ලෙස සිය දේශපාලන ආකෘතිය නිර්මාණය කරගෙන සිටි තොන්ඩමන් දේශපාලනය පසුපස ගණනින් ලක්ෂ කිහිපයක ඡන්ද ප්‍රමාණයක් පවතියි.
තොන්ඩමන් මහතාගේ මරණයෙන් පසුව හිස්වන මැතිවරණ අපේක්ෂකත්වය ද, මහ මැතිවරණයක් ළඟ ලඟම පැමිණීම ද, තොන්ඩමන් දේශපාලනය පිටුපස ඇති ඡන්ද ප්‍රමාණය ද අජිත් රෝහණ නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ හා අනිල් ජාසිංහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගේ නිර්දේශ නිහඬ කරවන්නට තරම් ය.
ශ්‍රී ලංකාව තුළ සියලු තීරණ තීන්දු පවතින්නේ දේශපාලන ආශාවට පහළිනි. දේශපාලන ආශාව යනු කිසි විටෙකත් ජනතාවගේ කැමැත්ත නොව පාලකයින්ගේ කැමැත්තයි. ඉතින් තොන්ඩමන් මහතාගේ මරණය පසුපස ද ඒ දේශපාලන ආශාවේ නාටකය ක්‍රියාත්මක වන්නට විය. ජනාධිපති අගමැති ප්‍රමුඛ දේශපාලන නායකත්වයන් ද දහස් ගණනක් වූ වතු කම්කරු ජනතාව ද තොන්ඩමන් මහතාගේ මරණය වෙනුවෙන් පැමිණෙන්නට විය. ඒ සඳහා අවශ්‍ය රාජ්‍ය මැදිහත්විම ද නිර්මාණය වී තිබුණි.