විනය කඩ කළොත් නිකායෙන් නෙරපනවා… රාමඤ්ඤ මහා නිකායෙන් නිවේදනයක් !

භික්ෂුවකට නොගැළපෙන විනය විරෝධී කටයුතු සිදුකරමින් මහජනයා තුළ ශ්‍රද්ධාව, ගෞරවය නැතිවන ආකාරයෙන් කටයුතු කරන භික්ෂූන් වහන්සේලා නිකායෙන් නෙරපා හැරිය යුතු බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය විසින් විශේෂ ශාසනික නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙනවා. රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත නාපානේ පේමසිරි මාහිමිපාණන්ගේ උපදෙස් මත එම නිකායේ ලේකකාධිකාරී හිමියන් විසිනුයි මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ.

එම නිවේදනයෙන් පැවසෙන පරිදි ලාභ අපේක්ෂාවෙන් හෝ දුර්වල මානසික තත්වයන් නිසා විවිධ ස්වාමීන් වහන්සේලා සහ කණ්ඩායම් භික්ෂු ගෞරවයට හානිවන ආකාරයෙන් සමාජ මාධ්‍ය ඇතුළු විවිධ මාධ්‍ය ජාලාවල මේ දිනවල පෙනී සිටිනවා. එම පුද්ගලයන් නිසා සම්බුද්ධ සාශනයට සහ හික්ෂු ගෞරවයට සිදුවන හානිය සුළුපටු නොවන බවයි එමඟින් පෙන්වා දෙන්නේ. එමනිසා එවැනි දුර්විනීත, අධර්මවත් භික්ෂූන් තම නිකාය තුළ ලියාපදිංචි වී ඇත්නම් නිකාය කතිකානුකූලව අවශ්‍ය පියවර ගෙන, ඔවුන්ගේ සාමණේර උපසම්පදා ලියාපදිංචියක් බෞද්ධ කටයුතු අමාත්‍යාංශයේ ඇත්නම් එයද අවලංගු කොට නිකායෙන් නෙරපා හැරීමට කටයුතු කළ යුතු බවයි මෙම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

කෙසේවෙතත් මීට පෙරද සමාජ මාධ්‍ය තුළ පමණක් නොව විවිධ පෞද්ගලික මාධ්‍ය ආයතන තුළද ඔවුන්ගේ දේශපාලන න්‍යායපත්‍රයන්ට අනුගත වෙමින් භික්ෂු ගෞරවයට හානිවන අයුරින් හැසිරුණු භික්ෂූන් වහන්සේලාව අපට දැකගැනීමට ලැබුණා. බුද්ධ දර්ශනයටද එරෙහිව යමින් ජාතිවාදී වෛරී ප්‍රකාශ නිකුත් කරමින්, මහජන සාමයට හානිවන අයුරින් කටයුතු කරන දේශපාලන පක්ෂවල අතකොලු බවට පත්වූ එවැනි භික්ෂූන් වහන්සේලා නිසාද සම්බුද්ධ සාශනයට සිදුවූ හානිය ද සුළුපටු නැහැ. එවැනි භික්ෂූන් වහන්සේලාගේ අවිචාරවත් හැසිරීම් නිසා විනයවත්, සාමකාමී භික්ෂූන් වහන්සේලා පවා සමාජය තුළ දැඩි ලෙස අපහසුතාවයට පත්වූ පුවත් අපට විටින් විට වාර්තා වී තිබෙනවා.

මේ අතර මෙම ලිපියට පාදක වූවායැයි සිතිය හැකි බොරැල්ලේ සිරි සුමන භික්ෂුවගේ හැසිරීම මෑතකාලීනව සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස විවේචනයට ලක්වුණා. කෙසේවෙතත් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන වීඩියෝ පටයක දැක්වෙන්නේ ඉත්තෑපානේ සද්ධාතිස්ස හිමියන් සහ ඩෑන් ප්‍රියසාද් නමැති පුද්ගලයා බොරැල්ලේ සිරි සුමන හිමියන් හමුවීමට ගොස් උන්වහන්සේට උපදෙස් ලබාදෙන ආකාරයයි. නමුත් එය දකින මහජනතාවට පැන නඟින ගැටළුව වන්නේ විවිධ දේශපාලන මතවාදවල වුවමනාවන් ඉටුකිරීම වෙනුවෙන් බුද්ධ චීවරය භාවිතා කරන ඉත්තෑකන්දේ සද්ධාතිස්ස වැනි හිමිවරුන්ට එසේ තව අයෙකුට උපදෙස් දීමේ සදාචාරාත්මක අයිතියක් තිබෙනවාද යන්නයි.

POPULAR

Recent articles