කිසිදු මාතෘ ගර්භාෂයක ත්‍රස්තවාදියෙකු හෝ සොල්දාදුවෙකු උපදින්නේ නැත !

කිසිදු මාතෘ ගර්භාෂයක ත්‍රස්තවාදියෙකු හෝ සොල්දාදුවෙකු උපදින්නේ නැත !

ජයං වේරං පසවති – දුක්ඛං සේති පරාජිතෝ
උපසංතෝ සුඛං සේති – හිත්වා ජය පරාජයං

(ධම්මපද, සුඛ වග්ගය)

ජයග්‍රහණය වෛරය උපදවන අතර එය දුකින් තැවෙන පරාජිතයෙකු ඉතිරි කරයි. ජය පරාජය යන තත්වයන් දෙකම අත්හරින්නා සුවසේ වාසය කරයි. මිට වසර දෙදහසකට පුර්වයේ ඉන්දියාවේ සිටියායැයි විශ්වාස කෙරෙන බුදුන් වහන්සේගේ මෙම ධර්ම පාඨය ධම්ම පදයේ සුඛ වග්ගයෙන් උපුටා ගැනෙන්නක්.

ලෝකයේ ශිෂ්ටාචාරය ආරම්භ කරන්නේ මිනිසා වුවත් සමස්ත ජීව ක්‍රියාවලියම තම පැවැත්ම වෙනුවෙන් අරගල කරමින් සිටින බව අද වනවිට සාමාන්‍ය දැනුමක්. එය ප්‍රාග් මානවයාගේ සිට නුතන මානවයා දක්වාම අඛණ්ඩව ක්‍රියාත්මක වූ දෙයක්.

අද වනවිට වර්ග කිලෝමීටර් හැටපන්දහස් හයසිය දහයකට සිමා වී ඇති ශ්‍රී ලංකාව නම් දේශපාලන භුමි සීමාව තුළ වසර දෙදහසකට ඈත අතීතයකට දිවයන ඉතිහාසය ද පිරී පවතින්නේ නිරන්තරයෙන් බලය උදෙසා කරන ලද අරගල ගණනාවකින්. ඒ සෑම තැනකම අවසානයේ ජයග්‍රාහකයා විසින් බලය අත්පත්කරගත් බවත් පරාජිතයා විනාශයට ගමන් කළ බවත් ඉතිහාසය විසින් ම කරුණු දක්වමින් සාධාරණිකරණය කර තිබෙනවා. අනුරාධපුර රාජධානියට පෙර සිද්ධ වූ විජයාවතරණයත් ඉන් බිඳවැටෙන සිරිසවත්ථු පුරයත් එතැන් සිට සේන – ගුත්තික ආක්‍රමණ , එළාර ආක්‍රමණය, සත් ද්‍රවිඩ, ෂඩ් ද්‍රවිඩ ආක්‍රමණ සේම රාජ රාජ රාජේන්ද්‍ර චෝළ ආක්‍රමණ ද ඉහත සඳහන් කළ දේශපාලන බල අරගලයේ ම නිදසුන් අවස්ථා වනවා මිසක ඒවා කිසිසේත්ම ලෝක මිනිස් යහපත වෙනුවෙන් සිදු වූ යම්කිසි හෝ සිදුවීම් නොවේ. එමෙන්ම අභ්‍යන්තර දේශපාලනය වෙනුවෙන් සිදු වූ අරගල ද තමන්ගේ දේශපාලන බල ආධිපත්‍ය තහවුරු කරගැනීමේ අවස්ථාවන් වනවා මිසක මිනිස් නිදහස වෙනුවෙන් සිදු වූ කවර හෝ දේවල් යැයි ස්ථිර වශයෙන් ම පැවසිය හැකි දේවල් ද නොවේ.

ලෝකයේ සෑම තැනකම අදටත් අනාරක්ෂිතම දෙය නම් සාමයයි. පවත්වාගැනීමට වැඩියෙන් ම වෙහෙසිය යුතු දෙය ද සාමයයි. වසර දෙදහසකට පෙර
ඇරිස්ටෝටල් නම් ග්‍රීක දාර්ශනිකයා උපතින්ම දේශපාලනික සත්වයෙක් යැයි නම් කළ පෘථිවි මිනිසා මේ මොහොතේ ද කටයුතු කරමින් සිටින්නේ ඒ පැරණි අදහස තුළමයි.

අනුරාධපුර රාජධානියේ සිට මහනුවර රාජධානිය දක්වාත් යුරෝපීයන් පාලනය කළ සියවස් හතරකට අධික පාලන සමයත් පෙර සඳහන් කළ බල අරගලයේ ම අනේක වූ අවස්ථා වුවා මිසක ඒ කිසිවක් මිනිස් කුස හා මිනිස් සිත පෝෂණය කිරීමේ උදාරතර අරගල නොවේ. ඒ සෑම තැනකම පාලකයින් විසින් ඒ මොහොත වෙනුවෙන් තෝරාගත් තීරණ හා ඒ තීරණ වෙනුවෙන් පෙළගස්වන ලද ජන මනසක් නිර්මාණය කිරීමක් බව ඉතිහාසය සියුම්ව අධ්‍යනය කරන ඕනෑම කෙනෙක්ට පහසුවෙන් කියවාගත හැකි සරල දැනුමක් මිස විශ්මිත කිසිවක් නොවේ.

1948… ලාංකීය දේශපාලන ඉතිහාසයේ කඩඉම් වර්ෂයක්. කෝල්බෘක් ව්‍යවස්ථාදායකයෙන් ආරම්භ වී සෝල්බරි සමය වනවිට ගොඩනැගී සිටි මෙරට දේශපාලන ප්‍රභූ පැලැන්තිය හා ඔවුන් නියෝජනය කළ නිර්ප්‍රභූ ජනතාව බ්‍රිතාන්‍ය දේශපාලනයෙන් වියුක්තව ස්වයං තීරණ ගැනීමේ ඓතිහසික අවස්ථාව කරා පිය නගන එක් වර්ෂයක්.

වෙස්මිනිස්ටර් සම්ප්‍රදායේ දේශපාලන මොඩලය විසින් රටක් ලෙස පාලකයින් හා පලිතයින් සේ ජිවත් වීමට යෝජනා කර තිබු දේශපාලන සංස්කෘතියක් එතැන් සිට මේ භූමිය තුළ ක්‍රියාත්මක කරන්නේ මෙරට දේශපාලන පක්ෂ හරහායි. ඒ ඒ දේශපාලන පක්ෂ විසින් පාක්ෂිකයින් ලෙස නඩත්තු කිරීමට තෝරාගත් ජන ප්‍රජාවන් වෙනුවෙන් කාලයෙන් කාලයට තෝරනු ලබන ක්‍රමවේද විසින් සමස්ත රටක් අනාගතය වෙත ගමන් කිරීම ඒ අනුව සිදු වූ බව මෑත ඉතිහාසය තුළ ඇත්තක්.

නමුත් පසුගිය දශක හත විසින් මේ රටේ ජනතාව වෙත උරුම කර දී ඇති ජීවිත යථාර්තය කුමක් ද ?

ජාතිවාදය , ආගම්වාදය හා බෙදා වෙනකොට සැලකීමේ ප්‍රාථමික ආකෘති නඩත්තු කරමින් මෙරට දේශපාලන යාන්ත්‍රනය විසින් නිර්මාණය කර ඇති සමාජය කිනම් වූ සමාජයක් ද ? මරණය වෙත කැපකළ මිනිසෙක් විරුවෙක් ලෙස නම්කොට පාලකයින් විසින් භුක්ති විඳි ජීවිතය සාමාන්‍ය ජනතාව කියවාගත්තේ කොතැනින් ද ?

උතුරේ බෙදුම්වාදයත් දකුණේ අන්තවාදයත් නිර්මාණය කරමින් සමස්ත දේශපාලන ක්‍රියාවලියම රටක් ලෙස ශ්‍රී ලංකාව රැගෙන ගොස් ඇත්තේ කොතැනට ද ?

යුද්ධය විසින් නිර්මාණය කළ ඉතිහාසය තුළ මියගියේ උණ්ඩවත්, බෝම්බවත් නොවන බව අප සියල්ලෝම දනිමු. ඒ සෑම තැනකම මියගොස් සිටියේ මවකට පියෙකුට දාව උපන් පන ගැහෙන පපුවක් සහිත මිනිස් දරුවකු මිස කිසිදු යන්ත්‍රයක් නොවේ.

යුද්ධයෙහි ජයග්‍රහණයක් නැත. ඇත්තේ පරාජයම පමණි.

කිසිදු මාතෘ ගර්භාෂයක ත්‍රස්තවාදියෙකු හෝ සොල්දාදුවෙකු උපදින්නේ නැත. එය සම්පුර්ණයෙන් ම සමාජ ගර්භාෂයේ නිර්මාණයකි.

ඉතින්, අපට සමරන්නට කිසිවක් ම නැත. ඇත්තේ ඉතිහාසයක් පුරා ඉතිරිකරගත යුතුව තිබු අප්‍රමාණ මිනිස් සම්පත්තියක් අහිමි කරගත් අත්දැකීම් සමුහයක ශෝකාලාපයක් පමණි. දියුණු සමාජයක යුද්ධය සැමරීම වෙනුවට සිදු කළයුතුව ඇත්තේ යුද්ධයෙන් තුවාල වූ මිනිස් සමාජයක් සුවපත් කිරීම පමණි. නමුත් අද දිනයේ දී පවා සමාජයක් සුවපත් කරනවා වෙනුවෙට ජයග්‍රහණය උත්කර්ෂයට නංවමින් පටු දේශපාලන දෘෂ්ටිවාදයක් වෙනුවෙන් සමාජයක් පෙළගැස්වීමේ කුරිරු සැලැස්ම මේ මොහොතේ ද ක්‍රියාත්මක වෙමින් පවතියි.

මිනිසුන් ලෙස ආදරයෙන් ජිවත් වීමේ පාඩම අපි තවමත් ඉගෙනගෙන නැතිය !

POPULAR

Recent articles