“ආහාර ගැන ජාතික සැලැස්මක් ඕනේ” – ජනාධිපති

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය තහවුරු කිරීම සඳහා ජාතික සැලැස්මක් ඕනේ.

ඊයේ (13) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණු ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය තහවුරු කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන මධ්‍යස්ථාන සවිබල ගැන්වීමේ බහු අංශ ඒකාබද්ධ යාන්ත්‍රණය ස්ථාපිත කිරීමේ සමාරම්භක වැඩසටහන අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම තුළින් නිෂ්පාදනය සහ තරඟකාරිත්වය ඉහළ නංවා කෘෂිකර්මාන්තය විදේශ විනිමය උපයන අංශයක් බවට පත් කළ යුතුය. ගෝලීය ආහාර අර්බුදය හමුවේ ආහාර ප්‍රශ්නය විසඳීම සඳහා සංවිධානාත්මකව සහ සාමූහිකව කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය තහවුරු කිරීමේ රජයේ නව වැඩපිළිවෙළ සමඟ සියලු දෙනා අත්වැල් බැඳගත යුතු බව ද ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය මෙසේය;

සෘණ හතක ආර්ථිකයක් රට අත්විඳින බැවින් සැමට ආහාර සැපයීමේ අභියෝගයට රජයට මුහුණ දීමට සිදුව තිබේ. ආර්ථිකය හැකිළුණු විට ජනතාවට ජීවනෝපාය අහිමි වන බවද ඔහු පැවසීය.

ඉදිකිරීම් ක්ෂේත්‍රය මේ වන විට දැවැන්ත විරැකියා අනුපාතයකට මුහුණ දෙමින් සිටින අතර රජයෙන් ඒ සඳහා මුදල් සොයා ගන්නා තුරු සියලු දෙනාටම මෙම තත්ත්වයට මුහුණ දීමට සිදුව තිබේ.

රටේ ජනතාවගෙන් ප්‍රතිශතයකට ආහාර හිඟ වී ඇති අතර මධ්‍යම පාන්තිකයින්ට ආදායම් අහිමි වී ඇත. ගෝලීය ආහාර අර්බුදයෙන් උග්‍ර වී ඇති තත්ත්වයටම ලබන වසරේදීත් රටට මුහුණ දීමට සිදුවනු ඇත. යුක්රේන යුද්ධය නිසා පාකිස්ථානයේ ගංවතුරෙන් ඔවුන්ගේ ගොවිබිම් විනාශ වෙද්දී අපට පිටි සැපයෙන්නේ නැහැ. ආහාර හිඟය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ආහාර ද්‍රව්‍ය ඉහළ යාම ශ්‍රී ලංකාව වැනි කුඩා රටවලට බලපායි.

මේ තත්ත්වයත් සමඟ ඉන්දියාව ආහාර අපනයනය නතර කර ඇති අතර චීනය ද අඩු වී තිබේ. මේ තත්ත්වය මේ දෙසැම්බරය වන විට අවසන් නොව වසර දෙකක් පමණ පැවතිය හැකියි. ඒ නිසා රටට ආහාර අර්බුදයකට මුහුණ දෙන්න සිදු වෙනවා. ශීත ඍතුවේ දී ඉන්ධන මිල පවා ඉහළ යා හැකිය.

මෙම ආර්ථික අර්බුදයෙන් මිදීමට ආහාර සුරක්ෂිතතාව සහතික කළ යුතු අතර එම ආහාර දේශීයව නිෂ්පාදනය කළ යුතුය. ආහාර සුරක්ෂිතතා වැඩසටහන ආරම්භ කළේ ඒ අරමුණ ඉටුකර ගැනීම සඳහායි. දැනටමත් ආරම්භ කර ඇති මහ කන්නයේ වගාව සඳහා පොහොර සැපයීම සඳහා රජය ඩොලර් මිලියන 200ක් සොයාගෙන ඇත. සම්පූර්ණ අවශ්‍යතාවය සපුරාලීම සඳහා තවත් ඩොලර් මිලියන 20 ක මුදලක් සොයා ගත යුතුය.

ඇතැම් ප්‍රදේශවල බීජ හිඟයක් පවතින බැවින් තායිලන්තය වැනි රටවලින් වගාවට අවශ්‍ය බීජ ලබා ගැනීමට අමාත්‍යාංශ මට්ටමින් සාකච්ඡා වෙමින් පවතී. වගා වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍ය වන්නේ කුමක්ද සහ එය ඉටු කරන්නේ කෙසේද යන්න තක්සේරු කළ යුතුය. අස්වැන්න අතිරික්තයක් තිබුණොත් වෙළෙඳපොළ කඩා වැටෙනවා.

ආහාර නිෂ්පාදනය සහතික කිරීම සඳහා ජාතික වැඩපිළිවෙළක් තිබිය යුතු අතර එය සියලු දෙනාගේ සහභාගිත්වයෙන් පළාත්, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක කළ යුතුය.

ආණ්ඩුවේ බලතල විධායකයට පැවරෙන අතර පළාත් සභා බලතල ජනාධිපතිවරයාට පැවරේ. මේ වන විට පළාත් සභා ක්‍රියාත්මක වන්නේ නැහැ. මෙම ක්ෂේත්‍ර 03ම එකට ගෙන ඒකාබද්ධ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර මෙම උත්සාහය සාර්ථක කර ගත යුතුයි. එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ පූර්ණ බලතල දිස්ත්‍රික් ලේකම්වරුන්ට පවරා ඇත.

මේ අතර අමාත්‍යාංශ ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් එම පණිවිඩයම තම මට්ටමින් ජනතාවට ලබාදිය යුතු අතර කිසිවකු තම අසාර්ථකත්වයට නිදහසට කරුණු ඉදිරිපත් නොකළ යුතුය. මුලපිරීමක් ලෙස පාර්ශවකරුවන් සමඟ සිකුරාදා සාකච්ඡාවක් පවත්වන්න, වැඩ සැලසුම් කර පසුව සැලැස්ම වැඩ කරන්න. ඉන්පසුව කොට්ඨාස මට්ටමින් සියල්ල එකතු කර නිෂ්පාදනයට යොමු කරන්න.

ග්‍රාම නිලධාරී කොට්ඨාශ මට්ටමේ නිලධාරීන් පස්දෙනාම ලබාගෙන අවශ්‍ය නම් ප්‍රතිපත්තිමය සහාය ලබාගෙන ඔවුන්ගේ සහය ඇතිව වගා වැඩසටහන ආරම්භ කරන්න. කුමක් කළ යුතුද සහ එය කළ යුත්තේ කොතැනද යන්න තීරණය කිරීමේ අභිමතය සැලැස්මට අනුව ඔවුන් සතුව ඇත.

ප්‍රථම වතාවට ග්‍රාම නිලධාරී කොට්ඨාශය පරිපාලනයට පමණක් නොව නිෂ්පාදනයටද යොදා ගැනේ. එතකොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලත් නිෂ්පාදන වැඩසටහනට එකතු වෙනවා. මේ වැඩපිළිවෙළ එලෙස ආරම්භ කළ විට අනාගතයේ සංවර්ධනයට පවා එය භාවිත කළ හැකියි.

දෙවැන්න අස්වැන්න රැස් කිරීම සහ නාස්තිය අඩු කිරීමයි. ඒ පිළිබඳව මෙම නිලධාරීන් දැනුවත් කරන අතර ඒ සඳහා අවශ්‍ය සහයද ලබාදිය හැකියි. නාස්තිය සියයට 10කින් හෝ සියයට 25කින් අඩු කළ හැකි නම් උත්සාහය සාර්ථකයි.

ඕනෑම ආහාර වර්ගයක් ගබඩා කිරීමේ යාන්ත්‍රණයක් තිබිය යුතු අතර ඒ සඳහා පෞද්ගලික අංශයේ සහය අපේක්ෂා කෙරේ. මහ කන්නයේ වගාවේ දී මේ සියලු උත්සාහයන් සාර්ථක වූයේ නම්, රට අවුල් සහගත තත්ත්වයෙන් ගොඩ ඒමට බලාපොරොත්තු වේ.

සමහර රජයේ ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කළ යුතු අතර සංචාරක ව්‍යාපාරය ද දියුණු කළ යුතුය. ආරම්භයේදීම ඇමෙරිකානු ඩොලර් බිලියන 03ක සංචිතයක් පිහිටුවීමට අපි කටයුතු කරන අතර ලබන වසර වන විට රුපියල ශක්තිමත් කර ඉදිරියට යා හැකියි.

ඊළඟට කෘෂිකාර්මික නවීකරණ වැඩසටහන. කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ නැංවීමට සහ තරඟකාරිත්වය වැඩි කිරීමට උත්සාහ දරයි. 2023 අවසන් වන විට අපි නවීකරණ වැඩසටහනට යා යුතුයි. කෘෂිකර්මාන්තයෙන් විදේශ විනිමය ඉපයිය යුතුයි. තෙල්, පොල්, රබර් විතරක් නෙවෙයි. 2050 වන විට අපේ ජනගහනය මිලියන 25ක් වෙනවා. වැඩිහිටි ප්‍රමාණය වැඩියි.

කෘෂිකාර්මික නවීකරණ වැඩසටහන මඟින් කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ නැංවීමට සහ තරඟකාරිත්වය වැඩි කිරීමට උත්සාහ දරන අතර එය 2023 වසර අවසන් වන විට ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ. කෘෂිකර්මාන්තය තුළින් රටට විදේශ විනිමය උපයා ගත යුතුය. සෞදි අරාබියේ සිට ඉන්දුනීසියාව දක්වා ජනගහනය මිලියන 500 කින් වැඩි වේ. එවිට අපට ඔවුන්ට අවශ්‍ය ආහාර ලබා දිය හැකියි.

කුඩා කර්මාන්තවලත් කඩා වැටීමක් තිබෙනවා. බැංකු ණය ගෙවා ගැනීමට නොහැකි වීම ගැටලුවකි. බිම් මට්ටමේ ප්‍රශ්න විසඳන්න ඕනේ නැත්නම් ලොකු කැළඹීමක් ඇති වෙනවා. ගම් මට්ටමින් ගැටලු විසඳුණොත් ඉදිරි වසර 25ක ආර්ථිකයේ පසුබිම සකස් වෙනවා.

මේ කාර්යයට අවශ්‍ය සියලුම පරිපාලන ආයතන තියෙන්නේ අගමැති යටතේ. සියලු දෙනාම අඩුපාඩු මග හැර මෙය සාර්ථක කර ගැනීමට ඉදිරියට යා යුතුයි. අපි ඔක්තෝබර් මුල් සතිය වන විට මෙම වැඩසටහන ආරම්භ කර ශ්‍රී ලංකා ආර්ථිකයේ සාධනීය වෙනසක් ඇති කිරීම සඳහා එය ඉදිරියට ගෙන යනවා.

POPULAR

Recent articles