‘කාර්යක්ෂමව කැපවීමෙන් රාජකාරි කරන පොලිස් නිලධාරීන්ට පොලීසිය උරුමකර දෙන්නේ අවාසනාවන්ත ඉරණමක්ද’ යනුවෙන් සඳහන් කරන දීර්ඝ ලිපියක් ශ්‍රී ලංකා පොලිස් විරු සංගමය විසින් ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක වෙත යොමුකර තිබෙනවා.
ඒ අද (05) දිනයේ යි. ආබාධයන්ට ලක්වූ පොලිස් නිලධාරීන් වෙනුවෙන් අවධානය යොමුකොට ශ්‍රී ලංකා පොලිසියේ නීතිය සහ සාමය ආරක්ෂා කිරීමේ රාජකරීවලදී පූර්ණ අබාධිත වූ පොලිස් නිලධාරීන්ට සිදුව තිබෙන අසාධාරණයන්ට යුක්තිය සහ සාධාරණය ඉටුකිරීමට හඬක් නැගීමට කටයුතු කරන මෙන් ඔවුන් සිය ලිපියෙන් අනුර දිසානායක මන්ත්‍රීවරයාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
එම සම්පූර්ණ ලිපිය මෙසේයි,
“මහජනතාවට අවශ්‍ය වන්නේ කාර්යක්‍ෂම පොලිස් සේවාවකි. බොහෝ අවස්ථාවල පොලීසියට විවේචන එල්ල වන්නේ පොලිස් නිලධාරීන් කාර්යක්‍ෂම ව රාජකාරි ඉටු නොකරන බවට ය. පොලිසියට පැවැරී ඇති ඇතැම් රාජකාරි ජීවිත අවදානම් ද සහිතය. මේ හේතුවෙන් රාජකාරිය ඉටු කිරීමට අවංකවම කැපවෙන නිලධාරීන් ඇතැම් විට අනතුරු වලට ද භාජනය වෙයි. පසුගිය කාල වකවානුව තුළ විවිධ රාජකාරි ඉටු කිරීමට යෑමේදී එසේ අනතුරු වලට ලක්වු නිලධාරීන් බොහෝමයකි. යුධමය වාතාවරණයෙන් පසු රාජකාරි ඉටු කිරීමට යෑමේදී ත්‍රිවිධ හමුදා හා වෙනත් රාජ්‍ය නිලධාරීන් අතරින් වැඩිම සංඛ්‍යාවක් අනතුරු වලට ලක් වී ජීවිත හානි සිදු වී ඇත්තේ පොලිස් නිලධාරීන්ට ය.
රටේ නීතිය හා සාමය ආරක්ෂා කරන්නට ජීවිත පූජා කළ නිලධාරීන් මෙන්ම, සදාකාලිකවම ආබාධිත තත්ත්වයට පත්ව, ගිලන් ඇඳන් වලට හා රෝද පුටුවලට ජීවිතය සීමාවු නිලධාරීන් ද සිටිති. කාර්යක්‍ෂම පොලිස් සේවාවක් බලාපොරොත්තු වන බලධාරීන්ගේ ප්‍රමුඛතම රාජකාරිය, වගකීම විය යුත්තේ මෙලෙස විපතට පත් වන නිලධාරීන් නිසි පරිදි රැක බලා ගැනීමය. එහෙත්, රාජකාරි ඉටු කිරීමට නියෝග ලබාදීමට කොතෙකුත් බලධාරීන් සිටිය ද, ඔවුන් විපතට පත්වු පසු, රැක බලා ගැනීමට, ඔවුන්ගේ ගැටලු වලට විසඳුම් ලබාදීමට කිසිවෙකු නොමැති වී ඇති බව 156 වෙනි පොලිස් දිනය සමරන අද දිනයේ දී හෙලිදරව් කරන්නට සිදු වී ඇත.
කෙනෙකුගේ ජීවිතය එකවරම ගිලන් ඇඳකට, රෝද පුටුවකට සීමා වීමෙන්, අතිශයින්ම කම්පනයට මානසික කඩා වැටීමකට ලක් වේ. එවන් තත්ත්වයට පත්ව, විශේෂ අවශ්‍යතා සහිතව ජීවත් වන පුද්ගලයන් ගැන සියලු ලෝකවාසීන් විසින් අවධානයට ලක් කරන්නේ ඉතාමත් මානුෂියවයි. එවන් පුද්ගලයින්ට ආරක්ෂාව රැකවරණය සැලැසීමට හා ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරදීමේ ප්‍රධාන වගකීම පැවැරී ඇත්තේ පොලීසියටයි.
එහෙත්, එවන් පසුබිමකදී, රටෙහි නීතිය හා සාමය ආරක්ෂා කිරීමේදී ආබාධිත වන පොලිස් නිලධාරීන්ට සහන සලසන චක්‍රලේඛ නිකුත් කර ඇත්තේ ඔවුන්ගේ ජීවිත අවුරුදු 55 කට පමණක් සීමාකරමින් ය. හානි පූර්ණ වන්දිය ලෙස ඔවුන්ට ලබා දෙන වැටුප අවුරුදු 55 දී නතර කරනු ලබයි. ඉන් අනතුරුව ඔවුන්ට කිසිඳු හානි පූර්ණයක් ලබා නොදෙයි. එහෙත් ඔවුන්ට සිදුව ඇති හානිය, ආබාධිත බව ජීවිතාන්තය දක්වාම පවතී. ඒ පිළිබඳව කිසිඳු අවධානයක් යොමු නොකර සාමාන්‍ය රාජ්‍ය සේවකයෙක් විශ්‍රාම ගන්වන ආකාරයෙන් විශ්‍රාම ගන්වයි. ආබාධිත තත්ත්වයට පත්වන විට සේවා කාලය අවුරුදු 10 ක් නොමැති නිලධාරීන්ට වයස අවුරුදු 55 න් පසු විශ්‍රාම වැටුප් ලබා නොදෙයි. සේවා කාලය සපුරා ඇති නිලධාරීන්ට ලබාදෙන සේවා විශ්‍රාම වැටුප ද රු. 28,200/= සිට රු. 29,857/= දක්වා වූ සොච්චමකි. එයින් ඔවුන්ගේ මූලික අවශ්‍යතා ටිකවත් සපුරා ගැනීමට නොහැක. කිසිඳු ප්‍රායෝගික පදනමක් නොමැතිව, මානුෂීය හැඟීමකින් තොරව බලධාරීන් විසින් මෙම චක්‍රලේඛ නිකුත් කර ඇත. මේ හේතුවෙන් අවුරුදු 55 කට වඩා මේ නිලධාරීන් ජීවත් වන්නේ නම් ඔවුන්ට මුහුණ දීමට සිදුවන්නේ අතිශයින් අඳුරු ඉරණමකටය. පොලීසියේ උන්නතිය වෙනුවෙන් ජීවිතය කැප කළ මේ නිලධාරීන්ට අඩුම තරමින් උසස්වීමක් වත් ලබාදීමට කටයුතු කර නැත. දහසක් බලාපොරොත්තු සමඟ සේවයට එක් වුන ඔවුන්ගේ අනාගතය අද මුළු මනින්ම බොඳ වී ඇත.
ඉතාමත් බරපතල ආකාරයෙන් ගැටලු රාශියකට මුහුණ දී සිටින මේ නිලධාරීන්ට වැටුප් හා දීමනා ලබාදීමට රජය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛණය 1982 සිට 2017 දක්වා පොලීසියේ පරිපාලනමය දෝෂයක් හේතුවෙන් ක්‍රියාත්මක කර නොමැත. පොලීසියේ බලධාරීන් විසින් සිදු කොට ඇති මේ දැවැන්ත අසාධාරණයට සාධාරණය ඉටු කිරීමට මෙතෙක් පියවර ගෙන නොමැති වීමෙන් ඔවුන් තවදුරටත් අසාධාරණයට ලක්වෙමින් සිටී.
විශේෂ අවශ්‍යතා සහිතව ජීවත්වන මේ නිලධාරීන් බොහොමයට ජීවත් වන්නට නිවසක් නොමැති ගැටලුවට ද මුහුණ දී සිටී. ඔවුන්ට ජීවත් වන්නට සිදුව ඇත්තේ කුලී නිවාස වල හෝ ඥතීන්ගේ නිවාස වලයි. සේවයේ යෙදී සිටින ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින්ට ද නිවාස සාදාගැනීමට “අපි වෙනුවෙන් අපි” අරමුදලෙන් ලක්ෂ 16 ක මූල්‍ය ආධාරයක් ලබා දේ. නමුත් එම සහනය ද මේ නිලධාරීන්ට අහිමිය.
ත්‍රස්ත ප්‍රහාරවලින් ආබාධිත වු නිලධාරීන්ට, මිය ගිය නිලධාරීන්ගේ යැපෙන්නන්ට ජීවිතාන්තය දක්වා වැටුප් ලබාදීමට හා සහන සැලසීමට ගෙන ඇති ක්‍රියාමාර්ග කිසිවක් නීතිය හා සාමය ආරක්ෂා කිරීමේදී විපතට පත්වු නිලධාරීන් වෙනුවෙන් ගෙන නැත.
පොලීසිය පාර්ශවයෙන් අවුරුදු දහයක පහලොවක සිට ඉහත ගැටලු වලට ලැබෙන එකම උත්තරය ‘කටයුතු කරමින් සිටිනවා’ යන්න පමණි. නිලධාරීන්ට සහන සැලසීමට කටයුතු කරන ආකාරයෙන් අවුරුදු සියගණනකින් වත් සහන ලබාදිය නොහැක. එය ඒ තරම්ම මන්දගාමීය. තම රාජකාරිය වගකීම, වෙනත් දිශාවන්ට තල්ලු කරමින් නිදහස් වීමට බලධාරීන් කටයුතු කරන ආකාරය ද ඉතාමත් පිළිකුල් සහගත ලෙස විද්‍යාමාන වේ.
ඇතැම් අවස්ථාවල දූෂිත නිලධාරීන් ගේ ක්‍රියාකලාපයන් හේතුවෙන් පොලීසිය ජනතාවගේ දැඩි අප්‍රසාදයට පත්වේ. එවන් අවස්ථාවල සමාජය ඉදිරියේ දී ආබාධිත අපට දැඩි අසීරුතාවන්ට අපහසුතාවන්ට පත්වී මුලු ගැන්වී සිටීමට සිදු වීම මහත් වු පිඩාවකි.
රටක ආබාධිත ප්‍රජාව රැක බලා ගැනීම දියුණු මානුෂීය ගුණාංගයක මිණුම් දණ්ඩකි. තම ආයතනය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් රාජකාරි කළ සහෝදර නිලධාරීන්ට නොසලකා හැරීම, ඔවුන්ව රැක බලා නොගැනීම, සහකම්පනයෙන් කටයුතු නොකිරීම ඉතාමත් නොදියුණු මානුෂීය තත්ත්වයක් පෙන්නුම් කරන්නෙකි. ඔවුන්ගේ ජීවිත අඳුරු ආගාධයකට යොමු කොට, අනාගතය මුලු මනින්ම බොඳ කර, අසරණකොට, හුදකලාකොට කාර්‍යක්ෂම, ගුණාත්මක පොලිස් සේවාවක් බිහිකිරීමට හැකිද යන්න බලධාරීන්ගේ හා ජනතාවගේ බුද්ධියේ විමසුමට ලක් කිරීමට අද අපට සිදුව ඇත.
ඉහත කරුණු සම්බන්ධයෙන් ඔබතුමාගේ අවධානය යොමුකොට ශ්‍රී ලංකා පොලිසියේ නීතිය සහ සාමය ආරක්ෂා කිරීමේ රාජකරීවලදී පූර්ණ අබාධිත වූ පොලිස් නිලධාරීන්ට සිදුව තිබෙන අසාධාරණයන්ට යුක්තිය සහ සාධාරණය ඉටුකිරීමට හඬක් නැගීමට කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.
ඉදිරිපත් කර ඇති කරුණු සඳහා සාක්ෂි සාධක සියල්ල ඉදිරිපත් කළ හැකිය.
ස්තුතියි
ශ්‍රී ලංකා පොලිස් විරු සංගමය
ප්‍රදීප් ද සිල්වා – සභාපති, ශ්‍යාමලී රත්නායක – ලේකම්, ප්‍රේමතිලක වන්නිනායක – භාණ්ඩාගාරික”