තමා දේශපාලනයෙන් විශ්‍රාම යන්නේ සුදුසු වේලාව පැමිණි පසු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු කියා සිටින්නේ දිගටම දේශපාලනයේ රැඳී සිටින බවයි.
Sunday Times පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමිනි හිටපු ජනාධිපතිවරයා මෙසේ පවසා තිබෙනවා.
නායකත්වය දීමට තමා අවශ්‍යද යන්න තීරණය කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බාර යැයි පැවසූ හිටපු ජනාධිපතිවරයා අවශ්‍ය නම් ඉවත් වීමට වුවත් සූදානම් බව ප්‍රකාශ කර සිටිනවා.
එමෙන්ම නීතිඥවරයෙකු හෙයින් තමාට උසාවි කටයුතු වලද නියැලිය හැකි බව ඔහු පෙන්වා දෙනවා.
රට හැර යද්දි තමා ගෙන් විමසා සිටියේ නම් ගෝඨාභය රාජපක්ෂ හට රට හැර නොයන ලෙස දැනුම්දෙන බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ –
“යන්නද කියලා එයා මගෙන් ඇහුවා නම් මම කියනවා යන්න එපා කියලා. ගෝඨාභය දේශපාලනඥයෙක් නෙවෙයි. රටේ සියලු ව්‍යසනයන්ට වගකිවයුත්තේ ගෝඨාභය රාජපක්ෂ නොවෙයි. මා ඇතුළු පසුගිය රජයන් මේ සියල්ලටම පිළිතුරු දිය යුතුයි.
අවාසනාවකට ඔහු ක්‍රියා කළේ තමා විශ්වාස කළ විශේෂඥයන්ගේ උපදෙස් මතයි. ඒ නිසා ඔහුට දොස් පවරන්න බැහැ. ඔහු ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරද්දී මනා පරිපාලන දක්ෂතාවක් පෙන්නුම් කළා.
ජනාධිපතිවරයා වශයෙන් ඔහුට දැඩි පීඩනයක් එල්ල වුණා. ඔහු පෙර දැඩි මතධාරියෙක්. පසුව ඔහු මෘදු භාවයට පත් වුණා. ඔහු කළ දේ නොකළ යුතුව තිබුණා. ගෝඨාභය කියන්නේ දේශපාලනඥයකු නොවෙයි. ඔහු ඉදිරියේ ඇති කාර්යය නිවැරදිව අවසන් කළ යුතුව තිබුණා “
එමෙන්ම ආර්ථික අර්බුදය කළමනාකරණය කිරීමට සිටින හොඳම නායකයා රනිල් වික්‍රමසිංහ බව කියා සිටින මහින්ද රාජපක්ෂ ඔහුට තමා සියලු සහය ලබා දෙන බවද ප්‍රකාශ කරනවා.
මේ අවස්ථාවේදී රටේ ප්රශ්නය විසඳීමට සියලු දේශපාලන පක්ෂ එකතු විය යුතු බවත් සියලු දෙනා රට වෙනුවෙන් එක මතයක සිට කටයුතු කළ යුතු බවත් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.