ශ්‍රී ලංකාව රටක් විදිහට දැන් ගෙවමින් ඉන්නේ ඉතිහාසයේ පෙර නොවූ විරූ තත්ත්වයක්. වැඩ කරන ජනතාව, මේ රටේ කම්කරු පන්තිය විදිහට මේ මොහොතට මුහුණ දෙන්න ඕනේ මොන විදිහට ද?
මුලින්ම කියන්න ඕනේ මේ තත්ත්වය අහම්බයක් හෝ කව්රුවත් පුදුම විය යුතු තත්වයක් නොවෙයි කියන එක.
74 වසරක වැරදි පීල්ලක ගිය පාලන ක්‍රමයක අනිවාර්ය අන්තයට තමයි අපේ රට පත්වෙලා තියෙන්නේ. ඒක මේ රට පාලනය කළ පාලකයන්ගේ විතරක් නෙමෙයි ඒ අයට පාලන බලය දුන්න ජනතාවගේත් වැරැද්ද. මතක තියා ගන්න ජනතාවගෙන් බහුතරයක් මේ පාලකයන්ට බලය දුන්නේ රට හදයි කියන අවංක බලාපොරොත්තුවකින්. හැබැයි පාලකයෝ ඒ බලාපොරොත්තුව පාවිච්චි කරලා සූදු කෙළියා. ඒ නිසයි අපේ රට මේ ඉරණමට පත්වෙලා තියෙන්නේ.
මම මේ කියපු ජනතාව අතරම තමයි ඔබ මගෙන් අහපු වැඩ කරන ජනතාව, කම්කරු පන්තියත් ඉන්නේ. ඒ කියන්නේ මේ වැරැද්දට වැඩ කරන ජනතාවත්, කම්කරු පන්තියත් වගකියන්න ඕනේ.
දැන් සාමාන්‍ය ජනතාව, තරුණ පරම්පරාව තමන්ගේ ජීවත්වීමේ සටන මහ පාරට ගෙනල්ලා. ඒ අය විදී පුරා සටන් කරනවා. මං මාවත් අහුරගෙන සටන් කරනවා. රාජ්‍ය පාලකයන්ට ගෙදර යන්න කියනවා. හොරා කාපු ධනය රටට දියව් කියනවා.
වැඩ කරන ජනතාව විදිහට දැන් අපි මේ සටනේ සජීවී කොටස්කාරයෝ වෙන්න ඕනේ. මේ සටනේ තීරක බලවේගය වෙන්න ඕනේ.
ඔබේ පක්ෂයේ වෘත්තීය සමිති ප්‍රධානත්වයෙන් පැවැත්වූ විරෝධතා, සංකේත වැඩ වර්ජන පිළිබඳව ඇතැම් පාර්ශ්ව කියන්නේ එවැනි ක්‍රියා නිසා රට තවත් ආර්ථික ආගාධයකට පත් වෙන බවයි. ඒක නරක ප්‍රවේශයක් බවයි ඒ අය කියන්නේ?
හොඳයි, ඒ අය මොකද කියන්නේ එහෙම නොකළ, එහෙම නොවුණු තත්වයක රටේ ආර්ථිකයට වෙච්ච දේ ගැන. පහුගිය 74 වසර අමතක කරමු. අඩුම තරමින් රාජපක්ෂ පාලනය යටතේවත් අපේ රටේ ආර්ථිකයට කළ සුගතිය මොකක්ද කියලා ඒ අයට පුළුවන්නම් පැහැදිලි කරන්න කියන්න.
අපි ස්ට්‍රයික් කළා කියලා, අපි උද්ඝෝෂණය කළා කියලා, අපි විරෝධතා දැක්වුවා කියලා මේ ආර්ථිකයට ආයේ අලුතින් වෙන්න විනාශයක් ඉතුරු වෙලා නැහැ. ආර්ථිකය ගැන දැන ගන්න මහලොකු ආර්ථික විද්‍යාඥයෝ වෙන්න ඕනේ නැහැනේ, යන්න ගෑස් පෝලිමට, යන්න තෙල් පෝලිමට, යන්න කිරිපිටි පෝලිමට. අන්තිමටම ඕනෙනම් යන්න පාස් පොර්ට් පෝලිමට. ආන්න ආර්ථිකයේ තැන්. ගිහින් බලන්න ඒ තැන්වල ඉන්න මේ රටේ ඉහළ සිට පහළට ගැහැනුන් මිනිස්සුන් රටේ පාලකයන්ට ආර්ථික විද්‍යාව උගන්නන විදිහ.
මේ පාලකයෝ ආර්ථිකය ගොඩදානවා කියලා හීනවල ඉන්න උදවිය තමයි “අනේ මේ වෙලාවේ ස්ට්‍රයික් කරන්න එපා, අනේ මේ වෙලාවේ පාරට බහින්න එපා, අනේ ප්ලීස් පිකට් කරන්න එපා” කියලා දේශනා කරන්නේ. හැබැයි එහෙම කියන අය අතරේ අවංකවම අහිංසක අදහසින් එහෙම කියන අයත් ඇති. බහුතරය එහෙම කියන්නේ කෛරාටිකකමට. අවස්ථාවාදීව. තමන්ගේ ප්‍රභූ පැලැන්තියේ ආරක්ෂාවට.
ඉතාමත්ම සාමකාමී ආකාරයට ආරම්භ වුණු මහජන උද්ඝෝෂණ දැන් දැන් තරමක් වෙනස් ආකාරයෙන් දකින්න පුළුවන්. වෘත්තිය සමිති නායකයන් විදිහට ඒ පිළිබඳව ඔබට කළ හැකි මැදිහත්වීම මොකක් ද?
කව්ද මේ අරගල ප්‍රචණ්ඩ කළේ? ඔබ දන්නවා මිරිහාන විරෝධයට 200ක් ගෙනත් අත්හැරපු චෞරයා කවුද කියලා. ඔබේ වෘත්තිය වුණු මාධ්‍ය වෘත්තියේ සහෝදරවරුන්ට බිම දාගෙන තලලා වෑන් එකක දාගෙන යන්න ආපු මුහුදු මංකොල්ලකාරයා කවුද කියන්න අපි දෙන්නම දන්නවා.
අහිංසක ජන විරෝධයන් මේ තත්වයට වර්ධනය වුණා නෙමෙයි, වර්ධනය කළා. මේක තමයි ඉතිහාසය පුරාම පාලකයන්ට තේරෙන භාෂාව වුණේ. රාජකාරි ඉවර වෙලා කරන්ට් නැති වෙලාවට ඉටිපන්දමක් අරගෙන පාරට බැහැලා තමන්ගේ ඉල්ලීම් ඉල්ලපු ජනතාවගේ හඬ, බලු කෙදිරියක් තරම් ගණන් නොගත් පාලකයෝ “Gota Go Home” කියද්දී මාරාවේශ වුණා. තර්ජනය කරන්න, පහර ගහන්න, අන්තර්ජාල අවහිර කරන්න පටන් ගත්තා. සාමාන්‍ය මිනිස්සු විතරක් නෙමෙයි නීතිඥයොත් කලුකෝට් ඇඳගෙනම පාරට බහින්න ගත්තා.
මොකක්ද රාජපක්ෂ ආණ්ඩුවේ උත්තරේ වුණේ? ප්‍රහාරය. උසිගැන්වීම. ඒක තමයි ක්‍රියාව. දැන් ඉතින් ආණ්ඩුවේ උදවිය තමන්ගේ ක්‍රියාවේ ප්‍රතික්‍රියාව බලාපොරොත්තු වෙන්න ඕනේ.
ආණ්ඩුවේ චණ්ඩි දැන ගන්න ඕනේ හැමදාම, හැම හන්දියකම එක විදිහට රඟපාන්න බැහැ කියලා. දැන් මේ වෙන්නේ ඒ රඟපෑම අවසන් කරන මොහොත නෙමෙයි ද?
මේ විරෝධතාවයන්ගේ හැඩය, මේ උද්ඝෝෂණයන්ගේ ස්භාවය, මේ සටනේ හැඩය වෙනස් කරන්න වැඩ කරන ජනතාවට වගකීමක් තියෙනවා නේ ද?
ඔව්, ඒ ගැන වාදයක් නැහැ. අරගලය නිවැරදි ඉලක්කයකට ගන්න, නිවැරදි සටන් පාඨ තෝරන්න, ජයග්‍රහණයෙන් අවසන් කරන්න පූර්ණ වගකීම තියෙන්නේ කම්කරුවන්ට, වෘත්තීයවේදීන්ට. පොදුවේ සමස්ත වැඩ කරන ජනතාව අත තමයි ඒ වගකීම තියෙන්නේ. සටන් දැනුවත් වෙන්නේ වැඩ කරන මිනිස්සුන්ගේ මැදිහත්වීමෙන්. නිවැරදි ඉලක්ක ලැබෙන්නේ කම්කරු ජනයාගේ මැදිහත්වීමෙන්. එක ඇත්ත. ලෝක ඉතිහාසය පුරාම යළි යළිත් තහවුරු කළ ඇත්ත.
අපි අපේ පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ විදිහටත්, ජාතික ජන බලවේගය විදිහටත්, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය විදිහටත්, සෙසු සමස්ත වැඩ කරන ජනයාගේ නියෝජිතයෝ විදිහටත් මේ සටන අපි ආරක්ෂා කරනවා. නම් නොදන්නා දහස් ගණනක්, දස දස දහස් ගණනක්, ලක්ෂ ගණනක් නන්නාදුනනා ගැහැනුන් සහ මිනිසුන් මේ දුර්දාන්ත 74 වසර අවසන් කරන්න පාරට බැහැලා. අතට අහුවෙන සටන් පාඨ, හදවතට දැනෙන වචන, ලියන්න පුළුවන් විදිහේ සටන් පුවරු අරගෙන සටන් බිමේ. ප්‍රචණ්ඩත්වය මුදා හරින ආණ්ඩුවේ මැර කල්ලි ඉදිරියේ නිරායුධ දෑත් හිමි මිනිස්සු ධෛර්යෙන් සටන් කරනවා. පාලකයෝ හැංගෙන්න ගුහා හොයනවා. ඇමති බාන් පිටින් අස්වෙන්න මේ විරෝධතා බලපානවා. මහා පාරේ සටන් කරන ගැහැනුන් සහ මිනිසුන් නිසා ආණ්ඩුවේම විපක්ෂය තුෂ්නිම්භූත වෙලා. ගල්ගහිලා. සිහි මුර්ජා වෙලා. ශිෂ්‍යයෝ පාරේ, ගොවියො පාරේ, පුජකවරු පාරේ. ඊළඟට සමස්ත කම්කරු පන්තියම පාරට එනවා. ඒක කම්කරු පන්තියේ වගකීම. කම්කරු පන්තියේ අයිතිය. හීතලට ගල්ගැහිලා තියෙන සමහරුන්ගේ අතරමග සමාදානකම් යෝජනා පරාජය කරලා මේ රටේ මිනිසුන්ට ආර්ථික, සමාජ, දේශපාලනික විජග්‍රහණය ගෙන ඒමේ වගකීම තියෙන්නේ රටේ සමස්ත වැඩකරන ජනයා අතේ. අපේ වගකීම ඒ සඳහා නිවැරදිව නායකත්වය දීම. ඒ පුළුල් වගකීම ඉෂ්ඨ කරන්න තමයි අපි සමස්ත කම්කරු පන්තියටම මේ මොහොතේ ආරාධනා කරනවා.
සංවාද සටහන : සිසිර යාපා
(උපුටා ගැනීම ‘ලංකා’ පත්තරයෙන්)