මෑතක දී සංවාදයට ලක්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව මාර්තු 25 වැනිදා ප්‍රසිද්ධ කරනු ලැබීය.
ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙන ගැටලු විසඳාගැනීම සඳහා නිර්දේශ පහක් ඉන් ඉදිරිපත් කර ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හතරවන වගන්තියට අදාල මෙම වාර්තාව උපදේශන වාර්තාවක් ලෙස සැලකේ. සෑම වර්ෂයකම නිකුත්කෙරෙන මෙම වාර්තාව රටේ ආර්ථිකය පිළිබඳ විශේෂඥ දැක්මකි.
තාක්ෂණික සහායක් ලෙස ලබා දෙන මෙම වාර්තාව පිළිගන්නේ ද නැද්ද යන්න රටට ඇති අයිතියකි. එය ක්‍රියාත්මක කරන්නේ ද නැද්ද යන්න ද ශ්‍රී ලංකාව විසින් ගත යුතු තීරණයකි.
කෙසේ වෙතත් ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට නම් මෙම වාර්තාව පදනම්කරගෙන දැඩි තීරණ ගතයුතු බව යි.
IMF හතරවන වගන්තියේ ක්‍රියාවලිය:
- 2021 වසරේ දෙසැම්බර් මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර, එහිදී මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව මෙන්ම තවත් රාජ්‍ය ආයතන කිහිපයක්, මූල්‍ය ආයතන, පෞද්ගලික අංශයේ, ආයතන සහ පුද්ගලයින් සමග සාකච්ඡා පැවැත්වීම
- ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලස්ථානයට නැවත පැමිණීමෙන් පසු නිලධාරී කණ්ඩායම වැඩිදුර පැහැදිලිකිරීම් ඉල්ලා සිටීම
- හතරවන වගන්තිය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක මණ්ඩලයේ සාකච්ඡා පැවැත්වීම සහ ඒ වන විට ශ්‍රී ලංකා බලධාරීන් වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාව පළකිරීම
- විධායක මණ්ඩල සාකච්ඡාව අවසන් වූ පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීම
- හතරවන වගන්තිය යටතේ වූ උපදේශනයෙන් ලබාගත් තොරතුරු පිළිබඳව ජනාධිපති දැනුවත් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි නිලධාරී කණ්ඩායමක් දිවයිනට පැමිණීම
- ශ්‍රී ලංකා බලධාරීන් එම වාර්තාවට අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කර එකඟ වීමෙන් අනතුරුව අවසන් අවසරය ලබාදීමට කටයුතු කිරීම
- අවසන් වාර්තාව 2022 මාර්තු 25 දින ප්‍රකාශයට පත් කිරීම
මූලික ගැටලු
පූර්ව වසංගත සමයේ රාජ්‍ය බදු කප්පාදුව සහ COVID-19 බලපෑම 2020 සහ 2021 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 10%කට වඩා විශාල මූල්‍ය හිඟයක් ඇති කිරීමට හේතු වූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි.
2021 දී රාජ්‍ය ණය, දළ දේශීය නිෂ්පාදිතයෙන් 119%ක් දක්වා ශීඝ්‍රයෙන් වැඩිවීම ද කැපී පෙනෙන කරුණක් වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දක්වා ඇත.
2020 දී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොළවල් සඳහා ප්‍රවේශය අහිමි වූ අතර එය ජාත්‍යන්තර සංචිත දැඩි ලෙස පහත වැටීමට හේතු වූ බව ද එම අරමුදල පෙන්වා දෙන කාරණයකි.
IMF නිර්දේශ
- සැලකිය යුතු ආදායමක් මත පදනම් වූ මූල්‍ය ඒකාග්‍රතාව ප්‍රතිසංස්කරණ කෙරෙහි අවධානය යොමු කළ යුතු ය. වැට් බදු සහ ආදායම් බදු ශක්තිමත් කිරීම, බදු අනුපාත වැඩි කිරීම, සහ බදු පදනම් පුළුල් කිරීම හරහා පියවර ගත යුතු ය. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායයන්ගෙන් මූල්‍ය අවදානම් අවම කිරීම උදෙසා රාජ්‍ය මූල්‍ය ගැලපීම සමග බලශක්ති මිලකරණ ප්‍රතිසංස්කරණ ද සිදු කළ යුතු ය
- ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පුළුල් උපාය මාර්ගයක් සංවර්ධනය කිරීම සිදු කළ යුතු ය
- උද්ධමන ඉලක්කයන්හි මෑතකාලීන කඩවීම තාවකාලික බව සහතික කිරීම සඳහා මෑතකාලීන මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීම – ශ්‍රී ලංකා මහ බැංකුවේ විශාල භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් ඉවත් කිරීම (මුදල් අච්චුගැසිම නතරකිරිම) සඳහා මෑතකාලීන පියවර මුදල් අමාත්‍යාංශය සමග සමීප සම්බන්ධීකරණයක් තුළින් ඉදිරියට ගෙන යා යුතු ය
- ක්‍රමානුකූලව වෙළඳපළ තීරණය කරන ලද සහ නම්‍යශීලී විනිමය අනුපාතයක් ප්‍රතිෂ්ඨාපනය කිරීම – විනිමය අනුපාතිකයේ අක්‍රමික චලනයන් වලක්වා ගැනීම සඳහා සංක්‍රාන්තිය පරිස්සමින් අනුපිළිවෙලට සකස් කර, විස්තීරණ සාර්ව ආර්ථික ගැලපුම් පැකේජයක කොටසක් ලෙස ක්‍රියාත්මක කළ යුතු ය
- අවදානමට ලක්විය හැකි කණ්ඩායම් මත සාර්ව ආර්ථික ගැලපුම්වල අහිතකර බලපෑම් අවම කිරීම සඳහා වියදම් වැඩි කිරීම, ආවරණය පුළුල් කිරීම, සහ ඉලක්ක වැඩිදියුණු කිරීම මඟින් සමාජ ආරක්ෂණ දැල් ශක්තිමත් කළ යුතු ය (පවතින සමෘද්ධිය සමාජ ආරක්ෂණ ක්‍රමය විධිමත්ව අත්‍යාවශ්‍ය ජනතාවට පමණක් ලබාදීම)
IMF අධ්‍යක්ෂ මණ්ඩල තක්සේරුව
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය තක්සේරුකර ඇති ආකාරයට, දරාගත නොහැකි තරම් ඉහළ ගොස් ඇති රාජ්‍ය ණය, පහළ බැස ඇති ජාත්‍යන්තර සංචිත, සහ ඉදිරි වසරවල අඛණ්ඩව ඉහළ යන විශාල මූල්‍ය අවශ්‍යතා ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග ලෙස දක්වා ඇත.
මේ පසුබිම තුළ සාර්ව ආර්ථිකය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා විශ්වසනීය සහ සුසංයෝගී උපායමාර්ගයක් ක්‍රියාත්මක කිරීමේ හදිසි අවශ්‍යතාවය මෙන්ම ස්ථාවරත්වය සහ ණය තිරසාරත්වය, අවදානමට ලක්විය හැකි කණ්ඩායම් ආරක්ෂා කිරීම සහ ධරිද්‍රතාවය අඩු කිරීම පිළිබඳව දජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය අවධාරණය කර තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව බදු අනුපාත වැඩිකිරීම් සහ බදු පදනම් පුළුල් කිරීමේ ක්‍රියාමාර්ග හරහා වැට් සහ ආදායම් බදු ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුබව නිර්දේශ කර ඇත.
මෙය සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම, අවශ්‍යවන ආසන්න හා මධ්‍ය කාලීන යන දෙකම ආවරණය වන පරිදි විශ්වසනීය සහ සුසංයෝගී උපායමාර්ගයක් ක්‍රියාවට නැංවීම අදහස් කරයි.
පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායයන්ගේ මූල්‍ය අවදානම් අවම කිරීම සඳහා බලශක්ති මිලකරණ ප්‍රතිසංස්කරණ සමග මූල්‍ය ගැලපුම් සිදුකළ යුතු බවට ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශකර ඇත.
ඉහළ යන උද්ධමන පීඩනය පාලනය කිරීම සඳහා දැඩි මූල්‍ය ප්‍රතිපත්ති ස්ථාවරයක් අවශ්‍ය බව IMF අධ්‍යක්ෂවරුන් එකඟ වී තිබේ.
අයවැය හිඟය සඳහා මහ බැංකුවේ සෘජු මූල්‍යකරණය ක්‍රමානුකූලව ඉවත් කිරීම ද නිර්දේශ අතර වෙයි.
බාහිර ගැලපීම් සහ ජාත්‍යන්තර සංචිත නැවත ගොඩ නැගීම උදෙසා වෙළඳපොළ තීරණය කරන ලද සහ නම්‍යශීලී විනිමය අනුපාතයකට ක්‍රමානුකූලව නැවත පැමිණීම නිර්දේශ කර ඇත.
කොන්දේසිවලට අනුව ප්‍රාග්ධන ප්‍රවාහ කළමනාකරණ පියවර ක්‍රමයෙන් ලිහිල් කරන ලෙස ද IMF අධ්‍යක්ෂවරුන් බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.
“දැනටමත් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග කිහිපයක් ක්‍රියාත්මක යි” – මහ බැංකුව
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හතරවන වගන්තියට අදාල වාර්තාව සම්බන්ධයෙන් ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේ, මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව දැනටමත් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග කිහිපයක් ක්‍රියාත්මක කර ඇති බව යි.
එම ප්‍රතිපත්තීන් වනුයේ, 2021 වසරේ අගෝස්තු මාසයේ සිට දැඩි මුදල් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම, විනිමය අනුපාතිකයෙහි නම්‍යශීලී බවක් සඳහා ඉඩ හැරීම, විදේශ විනිමය වෙළඳපොළ ගනුදෙනුවලට ඇති සීමාකිරීම් ඉවත් කිරීම, ආදායම් ඉහළ නැංවීමට සැලසුම් කළ පියවර ක්‍රියාත්මක කිරීම, සහ ප්‍රධාන භාණඩ සදහා වෙළඳපොළ මත පදනම්ව මිල ගැලපීමට ඉඩහැරීම යනාදිය යි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සමීප සම්බන්ධතාවයක් අපේක්ෂා කරන බව රජය පෙන්වාදීමත් සමග, එවැනි සම්බන්ධතාවයකට සහයෝගය දැක්වීමට සූදානම්ව සිටින බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ ය.
රජයට ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව තවදුරටත් සවිස්තරාත්මක විශ්ලේෂණ සැපයීම සහ ඒ පිළිබඳව රජය සමග අඛණ්ඩව සමීප සංවාදයක නිරතවීමට අමතරව, සිය විශ්ලේෂණ අඛණ්ඩව ප්‍රකාශයට පත්කර ඇතැ යි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.
IMF වාර්තාව පදනම් කර ගෙන දැඩි තීරණය ගත යුතු යි
වයඹ විශ්වවිද්‍යාලයයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසා සිටින්නේ IMF වාර්තාව පදනම් කර ගෙන දැඩි තීරණය ගත යුතු බව යි.
ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගැනීමට බලාපොරොත්තු වන්නේ නම්, මේ වාර්තාවේ දක්වා ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇතැ යි ද ඔහු ප්‍රකාශ කළේ ය.
මහචාර්යවරයා පැවසුවේ සාධාරණ පදනමක් මත එම කරුණු ඉදිරිපත් කර ඇති බව යි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පෙන්වා දී ඇති ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය ඉහළ යෑම, ආදයම වියදම අතර පරතරය ඉහළ යෑම, මුදල් මුද්‍රණය, බදු කප්පාදුව වැනි දෑ අලුත් කරුණු නොවන බවත් මහාචාර්යවරයා පෙන්වා දුන්නේ ය.
“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳ අනියත බියක් ඇති කළානේ පසුගිය කාලේ. හැබැයි මේ වාර්තාව බලපු කෙනෙක්ට තේරෙන්න ඕනේ කිසිම එහෙම නරක පැත්තක් නෙමේ, රට නිවැරදි මාර්ගයට ගන්න ඉතා හොඳ නිගමන ගොඩක් යෝජනා කරලා තියෙනවා,” මහාචාර්ය පෙරේරා පවසා සිටියේ ය.
“IMF එක අපිට මේ වාර්තාව දීල තියෙන්නේ, අපි ඉල්ලන ලෝන් එකට සම්බන්ධව නොවේ. මේක සාමාන්‍ය වාර්තාව. මේකට කැමති වුණත්, අකැමති වුණත් රජයට මේ වාර්තාව ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ඔවුන්ට අප්‍රේල් මාසයේ IMF එකට යන්න බැහැ,” මහාචාර්යවරයා සඳහන් කළේය .
මහාචාර්ය අමින්ද මෙත්සිල පෙන්වා දුන්නේ මේ වාර්තාවේ සියලු කරුණු මේ රටේ සාමාන්‍ය ජනතාවට හානිකර නොවන දේවල් බව යි.
“හැබැයි අපි ඔළුවෙන් තීරණ ගන්නවා නම් හානිකර වෙන්නැහැ. හැබැයි පපුවෙන් තීරණ ගන්නවා නම් හානිකර වෙයි. මොකද සමහර තැන්වල කතා කරනවා රාජ්‍ය අයතන ප්‍රතිව්‍යුහගත කිරීම ගැන.”
“හැඟීම්වලට යට වුණොත් අපිට දැනෙයි මේවා හොඳ නැහැ කියලා. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ පාඩු ලබන ආයතනවල හැම පාඩුවක්ම අවසානයේ අපි ගන්න සීනි ග්‍රෑම්100න් ගෙවනවා කියලා,” ඔහු පෙන්වා දුන්නේ ය.
“ඒ හින්දා පාඩු ලබන ආයතන, එක්කෝ අකාර්යක්ෂම ආයතන පෞද්ගලීකරණ කරන්න ඕනේ, ප්‍රතිව්‍යුගතකරණය කරන්න ඕනේ හෝ නිලධාරීන්ට ටාර්ගට් දීලා ඒවා දුවන්න යම් ක්‍රමයක් හදන්න ඕනේ. එයාර් ලංකා එක පාඩුයි කියලා සදාකාලිකව ඒ පාඩුව දරන්න බැහැ.”
“රටේ සියලු අර්බුදවලට ප්‍රධාන හේතුව විදේශ සංචිත බංකොලොත් වීම යි”
මේ රජය බලයට පත් වන විට අමෙරිකානු ඩොලර් බිලියන 7.6ක් වූ විදේශ සංචිතය අද වන විට 80%කින් බංකොලොත් වී ඇතැ යි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ ය.
රටේ උද්ගතව ඇති සියලු අර්බුදවලට ප්‍රධාන හේතුව විදේශ සංචිත බංකොලොත් වී ඩොලර් හිඟය ඇතිවීම බවත්, කෝවිඩ් නිසා ආර්ථිකය කඩා වැටුනායැ යි ආණ්ඩුවේ පාලකයන් හුවාදැක්වීමට උත්සාහ කළ ද රටට ගලා එන ප්‍රේෂණය අඩුවී විදේශ සංචිතය 80%කින් පහත බැස ඇති ලොව එකම රට ශ්‍රී ලංකාව බවත් ඉරාන් වික්‍රමරත්න ප්‍රකාශ කළේ ය.
ලංකාවේ දැනට පවත්නා අර්බුදවලට මුල වත්මන් ජනාධිපති බලයට පත්වූ වහාම බදු කපාහැර රාජ්‍ය ආදායම අඩු කිරිම බව මෙම වාර්තාවේ පැහැදිලිවම සඳහන් කර ඇතැ යි මන්ත්‍රී වික්‍රමරත්න පෙන්වා දුන්නේ ය.
“රටේ ආදායම තුනෙන් එකක ප්‍රමාණයකින් අඩුවීමට තරම් මෙසේ බදු කපා හැරීමට කිසිදු විද්‍යාත්මක පදනමක් තිබී නැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාවේ සඳහන් කර තිබෙනවා,” ඔහු කියා සිටියේ ය.
“රුපියලේ අගය කෘතිමව පවත්වාගෙන යෑම පිළිබඳව විපක්ෂය සඳහන් කළ ආකාරයට මජාත්‍යන්තර මූල්‍ය ආයතනයේ වාර්තාවේ ද සඳහන් කර තිබෙනවා. විපක්ෂයේ අවවාදය පිළිනොගෙන රුපියලේ අගය එසේ කෘතිමව පවත්වාගෙන යෑම හා එහි ප්‍රතිඵලයක් ලෙස නව කලු කඩයක් බිහිවූ අතර, ඒ හරහා රුපියල 250 දක්වා බාල්දු වුණා. ශ්‍රී ලංකාවට ලැබෙන විදේශීය ප්‍රේෂණ මෙන්ම අපනයන ආදායම ද නොලැබී ගියා. අද රටේ ආර්ථිකයේ ඇති වී තිබෙන ප්‍රධාන අර්බුදය රුපියල කෘතිමව පාලනය කිරීම හරහා රටට ඩොලර් නැතිවී අත්‍යාවශ්‍ය භාණ්ඩ කිසිවක් ආනයනය කරවීමට නොහැකිවීම යි. රටේ ඩොලර් නැති අඩුපාඩුව රුපියල වැඩිපුර මුද්‍රණය කරමින් විසඳිය හැකියැ යි වැරදි මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කළා. රුපියල මුද්‍රණය කිරීමෙන් ඩොලර් නැති හේතුවෙන් ඇති වූ ආර්ථික අර්බුදය විසඳන්නට හැකි වේයැ යි සිතෙන ආර්ථික විශේෂඥයනුයි මේ රජයේ ඉන්නේත්, රජයට උපදෙස් දෙන්නේත්,” ඔහු පැවසීය.
ලංකාව උද්ධමනයෙන් කප් ගසයි?
සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න කියා සිටියේ දැන් ලෝකයේ වැඩිම උද්ධමනය ඇති රට ශ්‍රී ලංකාව බව යි. ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මිල ගණන් සැසඳීමක් සිදු කළේ ය.
• 2019 වසරේ දී රුපියල් පනහක්ව තිබූ පාන් රාත්තලක මිල වසර 2කින් පසුව අද වන විට රුපියල් 110 යි. රුපියල් 90ක තිරිඟු පිටි කිලෝව දැන් රුපියල් 196 යි. රුපියල් 85ක සීනි කිලෝව දැන් 195 යි.
• සාමාන්‍ය ආර්ථික පිළිවෙත අනුව භාණ්ඩ මිල පොදුවේ වාර්ෂිකව 5%කින් හෝ 10%කින් වැඩිවන්නට ඉඩ ඇතත්, එයට සාපේක්ෂක සේවක වැටුප් වැඩිවීම පොදු ප්‍රවණතාවකි. රුපියල් 140 පරිප්පු කිලෝවක් 420ට දැන් අලෙවි කෙරේ. “පරිප්පු නැති හෝටලයක් නැතැ” යි යන කියමන අනුව දැන් බත් පැකට් එකේ මිල ද 2019ට වඩා 2022 වන විට රුපියල් 100ත් 120ත් අතර මුදලකින් වැඩි වී ඇත.
• රුපියල් 200ට පැවති කොත්තු එකක් අද රුපියල් 500 දක්වා ඉහළ ගොස් ඇත.
• රු. 380ට පැවති ග්‍රෑම් 400ක කිරි පැකට්ටුවක් මේ සතියේ රුපියල් 800කි. එහෙත් වෙළඳපොලේ සොයාගන්නට නැත.
• යකඩ හා සිමෙන්ති විශාල ප්‍රමාණයකින් වැඩි වීම හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයට ප්‍රධාන බාධකයක් ඇතිවී තිබේ. රුපියල් 90ක සිමෙන්ති කොට්ටයක් රු. 1950ට වැඩි වී ඇති අතර, යකඩ ටොන් එකක මිල 120,000 සිට 240,000 ඉක්මවා ඇත.
• ඉන්ධන මිල 100%කින් පමණ වැඩි වි ඇති අතර, ඒ හරහා සියලු භාණ්ඩ හා සේවාවන්හි මිල ද ජනතාවට දරාගත නොහැකි මට්ටමින් වැඩි වී ඇති නිසා සේවා සපයන්නන්ගේ ආදායම් මාර්ගය ද අඩුවී ඇත.
• 2014 වසරේ දී රු. 165ක්ව තිබූ පෙට්‍රල් ලීටරය 2019 වන විට 137 දක්වා යහපාලනය විසින් අඩු කළ නමුදු දැන් එහි මිල රු 254කි. එහෙත් ඉන්දියානු තෙල් සමාගම අලෙවි කරන්නේ රු. 303ට ය.
• රු. 130 ඔටෝ ඩීසල් 2019 දී 104ට අඩු කළා. දැන් 2022 දී එය රු. 176 කි. ඩීසල් හා පෙට්‍රල් මිල වැඩිවීමේ විපාකය සමස්ත සමාජයටම අහිතකර බලපෑම් ඇති කරන බව නොරහසකි.
• 2019 වන විට රු. 1375ක් වූ ගෑස් මිල දැන් එහි සහතික මිල අභිබවා රු. 4000 දක්වා මිලකට අලෙවි කෙරේ.
BBC වෙබ් පිටුවෙන් උපුටා පළකරන ලදී.