මෙරට සිටි ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියෙකු වූ සුනිල් මාධව ප්‍රේමතිලක අද (23) පස්වරුවේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. 1944 මැයි 12 උපන් සුනිල් මාධව ප්‍රේමතිලක මිය යන විට වයස අවුරුදු 78ක් වුණා.
ලේක්හවුස් ආයතනයෙන් පත්තර රැකියාවට පැමිණි සුනිල් මාධව ප්‍රේමතිලක එතැන් පටන් පුවත්පත් ගණනාවක ප්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කළා.
සුනිල් මාධව ‘සිළුමිණ’ හි රැකියාව කරද්දී සංස්කරණය කළ “හදවත ඇඳි ගී” ප්‍රථම නිසදැස් කවි පිටුව එකල මෙරට පාඨකයන් අතර ජනප්‍රිය කවි පිටුවක්.
මහගම සේකර, පරාක්‍රම කොඩිතුවක්කු, ආර්. ආර්. සමරකෝන්, ඔගස්ටස් විනායගරත්නම්, සුනන්ද මහේන්ද්‍ර, දයාසේන ගුණසිංහ, නාමෙල් වීරමුනි ආදීන්ගේ නිර්මාණවලින් මෙන්ම නවක කවියන්ගෙන් ඒ කවි පිටුව පෝෂණය වුණා.
‘සිළුමිණ’ පුවත්පතින් ඉවත් වූ සුනිල් මාධව ‘දිවයින ඉරිදා සංග්‍රහය’ පුවත්පතේ ආරම්භක කර්තෘ මණ්ඩල සාමාජිකයෙක්. ‘දිවයින ඉරිදා සංග්‍රහය’ තුළ සුනිල් මාධව ප්‍රේමතිලක සංස්කරණය කළ ‘අටවෙනි පිටුව’ එතෙක් මෙතෙක් මෙරට සිංහල භාෂිත පුවත්පත් අතර වඩාත් අවදානයට ලක්වූ පත්තර පිටුවයි. වඩාත් වෙනත්, තාරුණ්‍යයට ඉඩ දුන්, ආධුනිකයන්ට පුවත්පත් පාසලක් බඳු වූ ‘අටවෙනි පිටුව’ මෙරට මාධ්‍ය ලෝකයට නව පිරිසක් බිහිකළ තැනක් බවයි සඳහන් වන්නේ.
තරුණ අරගලවලට මෙන්ම තරුණ හඬට ඉඩදුන් සුනිල් මාධව ප්‍රේමතිලක එනිසාම මෙරට ‘විකල්ප පත්තරකරුවා’ බවට පත් වුණා. ඔහු මෙරට විකල්ප පත්තර ධාරාවේ පුරෝගාමී කැපී පෙනෙන ආරම්භකයා යි. ‘ලක්මිණ’, ‘ලක්දිව’, ‘හිරු’ වැනි විකල්ප පුවත්පත් මෙරට මෑත ඉතිහාසයේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සුවිසල් වැඩ කොටසක් ඉටුකළ අසම්ප්‍රදායික පත්තර ලෙසයි හඳුන්වන්නේ. සුනිල් මාධව හා එක්වූ එම පුවත්පත් වල සහෝදර මාධ්‍යවේදීන් ඒ පුවත්පත්වලින් පොදුජන මතය රටට ප්‍රකාශ කළේ බිහිසුණු වාතාවරණයක් යටතේයි.
පොදුවේ ‘පත්තරකාරයෙකු’ ලෙස කව්රුත් දන්නා සුනිල් මාධව ප්‍රේමතිලක සිය ‘සත්‍යවාදියාගේ දිනපොත’ සහ තවත් කෘතීන් ගණනාවක කතුවරයායි.
ස්ටීව් බිකෝ හා බැඳුණු සුදු ජාතික මාධ්‍යවේදියෙකු වූ ඩොනල්ඩ් වුඩ්ස් කෘතිය සුනිල් මාධව පරිවර්තනය කළේ ‘හඬනු මැන නිදහස’ නමින්. ‘අන්ධකාරයේ දරුවා’, ‘මිනිසෙක්’, ‘ඇමරිකා ඇමරිකා’, ‘සැබෑ කවියකුගේ කතාව’, ‘ශ්‍රේෂ්ඨයා’, ‘ජීවිතය සුන්දරයි’ ඔහුගේ පරිවර්තනයි.
සුනිල් මාධව ප්‍රේමතිලකගේ ප්‍රියතම විරුවා වුණේ අර්නස්ට් චේ ගුවේරා යි.
සිය ජීවිත කාලය පුරාම වයස් බේදයකින් තොරව බොහෝ දෙනෙකු අතර ‘සුනිල් අය්යා’ වූ සුනිල් මාධව ප්‍රේමතිලකගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බවයි කයන්නේ.